ඒක දැවී යාමක් වුනේ කොහොමද කියන එක ප්‍රශ්නයක්?

Big Bash League 22/23

849

ඊයේ (06) BBL තරගාවලියේ Sydney Sixers සහ Melbourne Stars කණ්ඩායම් අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගයේ දී Sixers ක්‍රීඩක Jordan Silkට ගේ දැවී යාමට අදාලව ලැබුණු විනිසුරු තීරණය දැඩි මතභේදකාරී සිදුවීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙවර Big Bash League ක්‍රිකට් තරගාවලියේ දිගින් දිගටම සිදු වන මතභේදාත්මක සිදුවීම්වල තවත් අලුත් පිටුවක් පෙරළමින් ඊයේ Stars සහ Sixers අතර තරගය අවසන් වූ අතර, එම තරගයේ දී නැවතත් Jordan Silkගේ නම (මීට පෙර Michael Neserගේ උඩ පන්දු රැක ගැනීමේ සිදු වීමට ද ඔහුගේ නම ඈඳුණා) තවත් මතභේදකාරී සිදුවීමක් සමඟ ඈඳුණා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී Sixers කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු තුනකින් ලකුණු දෙකක් ලබා ගත යුතුව තිබුණු අතර, එම පන්දුවාරයේ සිව්වැනි පන්දුව පිතිකරණයේ යෙදී සිටි Jordan Silkගේ පිත්තේ ගෑවී නොගෑවී කඩුලු රකින්නා අතට ඇදී ගියා.

ඒ අවස්ථාවේ ලකුණක් සඳහා දිව යෑමෙන් දුවද්දී දැවී යාමකට ආසන්න අවස්ථාවක් ද උදා වූ අතර, ඊට ප්‍රථම  Melbourne Stars නායක Adam Zampa විසින් විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ (Review) අවස්ථාවක් ලබා ගනිමින් එය උඩ පන්දුවක් ද යන්න පරීක්ෂා කිරීමට ඉල්ලා සිටියා.

ඒ අනුව තරගයේ තුන්වැනි විනිසුරු විසින් එම පන්දුව නැවත රූපවාහිනිය ඔස්සේ පරීක්ෂා කළ අතර, එහි දී පන්දුව සහ පිත්ත අතර පැහැදිලි පරතරයක් රූප රාමුවලින් පෙනී ගියත්, snickometer මගින් ඒ අවස්ථාවේ පන්දුව සහ පිත්ත අතර ගැටීමක් සිදු වූ බව පෙන්වුවා.

ඒ අනුව පිතිකරණයේ යෙදී සිටි Silkව පුදුමයට පත් කරමින් තුන්වැනි විනිසුරු විසින් ඔහුව දැවී ගිය ක්‍රීඩකයකු ලෙස ලකුණු කළ අතර, අකමැත්තෙන් වුවත් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

මෙම සිදු වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙන්ම ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් පවා සිය අසතුට ප්‍රකාශ කර තිබුණා.

ඒ අතර හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Akash Chopra දක්වා තිබුණේ මෙවැනි අදහසක්.

“තුන්වැනි විනිසුරු කොහොමද ඒක දැවී යාමක් කියලා තීරණය කළේ, spike (පන්දුව සහ පිත්ත ගෑවෙන බව snickometer මගින් පෙන්වූ අවස්ථාව) වෙන වෙලාවෙත් පන්දුව පිත්තෙන් අඟල් හයක් විතර එහායින් තිබුණේ.”

මේ තවත් එවැනි සමාජ මාධ්‍යවල පළ වූ අදහස් කිහිපයක්.

ඔවුන් බොහෝ දෙනෙකු පවසන්නේ Jordan Silk මේ තීරණය සම්බන්ධයෙන් වික්ෂිප්ත වීම සාධාරණ බවයි.

කෙසේ වෙතත් Silkගේ දැවී යාමෙන් පසු පන්දුවේ දී Sixers කණ්ඩායම විසින් සිය ජයග්‍රහණය පහසුවෙන් ම වාර්තා කිරීමට සමත් වුනා.

BBL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<