“ඔලිම්පික් නැවත පවත්වනවාට වඩා අවලංගු කිරීම පහසුයි”

118
Cancel Tokyo 2020

පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ලබන වසර දක්වා කල්දැමූ 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල නැවත සංවිධානය කරනවාට වඩා මෙම වසර තුළ දී ම අවලංගු කර දැමීම වඩාත් පහසු බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටු ප්‍රධානී තෝමස් බෙච් පසුගිය දා ප්‍රකාශ කළා.

>> බෝල්ට් නැවතත් ක්‍රීඩා පිටියට?

ඔලිම්පික් කමිටු ප්‍රධානියා විසින් ඔලිම්පික් උළෙලේ නැවත සැලසුම් කිරීම පිළිබඳව insidethegames.biz වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය නැවත සැලසුම් නොකර අවලංගු කිරීම පහසු බවත්, එමගින් ඔවුන්ට රක්ෂණ ආදායම හෝ ලබා ගත හැකි බවයි.

“මෙම තත්වය මත තරගාවලිය අවලංගු කිරීම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට පහසු දෙයක්, එමගින් අපට රක්ෂණ ආදායම හෝ ලැබෙයි. නමුත් අප කටයුතු කරන්නේ තරගාවලිය සංවිධානය කිරීමට මිස අවලංගු කිරීමට නොවෙයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙවර ඔලිම්පික් උළෙලේ කල්දැමීම නිසාවෙන් එය සඳහා ඩොලර් බිලියන 2 සිට 6 දක්වා වූ අමතර පිරිවැයක් දැරීමට සිදු වන බව ජපාන සංවිධායකයින් ප්‍රකාශ කර තිබූ අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් එම වැඩි වූ පිරිවැය සඳහා තවත් ඩොලර් මිලියන 800ක මුදලක් පසුගිය දා වෙන් කරන ලදි.

මීට අමතරව තරගාවලිය සඳහා වැය වන පිරිවැය අවම කරගැනීම සඳහා මෙම තරගාවලිය පෙර පරිදි ඉතා උත්සවශ්‍රීයෙන් නොපවත්වා ඉතා සරල ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බව ද ජපාන ඔලිම්පික් සංවිධායකයින් ප්‍රකාශ කර තිබුණි.

>> තවත් ප්‍රධාන පෙළේ මැරතන් තරගයකට තිත

මෙම වයිරස තත්වය නිසාවෙන් ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තම පුහුණුවීම් සිදු කිරීමට නොහැකි තත්වයක් උදා වූ අතර තරගාවලි බොහොමයක් අවලංගු කිරීමට සිදු වූ නිසාවෙන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව ද දෙසැම්බර් දක්වා අත්හිටුවීමට ද අදාළ බලධාරීන් කටයුතු කළා.

32 වැනි ගිම්හාන ඔලිම්පික් තරගාවලිය මෙම වසරේ ජූලි මස අග දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තියේ සිදු වූ වර්ධනය නිසාවෙන් ලබන වසරේ (2021) ජූලි මස දක්වා කල් දැමීමට තීරණය කළ ද, මෙම වයිරසය සඳහා එන්නතක්/නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගැනීමට තවමත් නොහැකි වීම නිසාවෙන් තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්වයකට ද පත්ව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<