Zampaගේ වැඩ නිසා Ashwinටයි කරදර

Big Bash League 22/23

402

ඊයේ (03) Big Bash League ක්‍රිකට් තරගාවලියේ Melbourne Stars සහ Melbourne Renegades කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී Stars නායක Adam Zampa විසින් Renegades ක්‍රීඩක Tom Rogersව මන්කාද් කිරීමකින් දවා ගැනීමට උත්සාහ කළත්, එය ව්‍යර්ථ වුනා. නමුත් එම සිදුවීම දැන් ලොව පුරා කතා බහට ලක් වන සිදුවීමක් වී අවසන්.

තරගයේ පළමු ඉනිමේ අවසන් පන්දු වාරය යවමින් සිටි Zampa විසින් එම පන්දු වාරයේ පස් වැනි පන්දුව යැවීමට දිව විත් පන්දුව නො යවා පන්දු යවන අන්තයේ සිටි (Non strikers end) Tom Rogersව මන්කාද් කිරීමකට (දුවද්දී දවා ගැනීමක්) ලක් කළ අතර, පිතිකරණ අන්තයේ රැඳී සිටි Mackenzie Harvey විසින් එය විශ්වාස කළ නොහැකි සිදු වීමක් බව පෙන්වීමට මෙන් හිස දෙපසට සැලුවා.

නමුත් පසුව තරයේ තෙවැනි විනිසුරු විසින් එය දැවී නොයාමක් ලෙස සංඥා කළා.

මෙහි දී මෙය දැවී නොයාමක් ලෙස සටහන් කිරීමට හේතුව වන්නේ Zampa විසින් දුවද්දී දවා ගැනීම ලබා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ ඔහුගේ අත පන්දු යවන්නාගේ සීමා ඉර ඉක්මවා ගොස් තිබීමයි. ඒ නිසා එය ICCය විසින් පනවා ඇති නීති ප්‍රකාරව දැවී යාමක් ලෙස සඳහන් කළ නො හැකියි.

මේ අතර 2023 වසරේ IPL තරගාවලිය සඳහා Adam Zampaව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම මගින් තෝරා ගත් අතර, ඒ අනුව දැනටමත් එම කණ්ඩායම් සාමාජිකයින් වන Ravichandran Ashwin සහ Jos Buttler සමඟ එක්ව ක්‍රීඩා කිරීමටත් ඔහුට අවස්ථාව හිමි වනු ඇත.

මීට පෙර 2019 IPL තරගාවලියේ දී කණ්ඩායම් දෙකකට ක්‍රීඩා කළ Ashwin සහ Buttler අතර ද මෙවැනි මන්කාද් දවා ගැනීමක් පිළිබඳ සිදු වීමක් ඇති වීම සහ Ashwinගේ නම මන්කාද් දවා ගැනීම් සමඟ නිතර ඇසෙන නමක් වීමත් නිසා Zampaගේ මේ නව එක් වීමත් (රාජස්තාන් කණ්ඩායම සමඟ) ඊයේ සිදු වීමත් අලලා බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක පණිවුඩ හුවමාරු කර ගනිමින් සිටිනවා.

මේ බොහෝ පණිවුඩවල Zampaගේ නමටත් වඩා වැඩි අවධානයක් Ashwinගේ නමට ලැබී ඇති බවයි විදෙස් මාධ්‍යවල සටහන් වන්නේ.

එවැනි පණිවුඩ කිහිපයක් පහතින් දැක්වෙනවා,

මේ අතර ඕස්ට්‍රේලියා පිතිකරු Joe Burns විසින් ද මන්කාද් දවා ගැනීම වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව අනුව සාධාරණීකරණය කළ හැකි බව පවසනවා.

“ස්ටම්ප් කරන එකේ සහ මන්කාද් කරන එකේ වෙනස මොකක්ද. අපි (පිතිකරුවන්) සීමා ඉරේ රැඳී සිටිය යුතුයි. හැම සෙන්ටි මීටරයක් ම වැදගත්.” – Joe Burns

මේ අතර ක්‍රිකට් නීති සම්පාදනය කරන Marylebone ක්‍රිකට් සමාජය විසින් මන්කාද් දවා ගැනීම පිළිබඳ නීතිය නැවත සඳහන් කරමින් twitter ප්‍රකාශයක් ද නිකුත් කර තිබුණා.

“පන්දු යවන්නා විසින් සාමාන්‍යයෙන් පන්දුව මුදා හරින තැන වන තෙක් (පන්දු යවන්නාගේ අත ඉහළම ස්ථානයට පිවිසෙන තෙක්) පිතිකරුවා සිය සීමා ඉරේ රැඳී නොසිටී නම් ඔහු/ඇය දැවී යා හැක.”

තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්වට අදාළ වටය සම්පූර්ණයෙන්ම අත කර කැවූ පසු පිතිකරුවාව දවා ගැනීමට අවස්ථාවක් නොමැති බව ඔවුන් එහි දී අවධාරණය කර තිබෙනවා.

BBL තරගාවලියේ මෙන්ම, දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

NDTV ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<