BBL උණුසුම වැඩි කරමින් වාද විවාද ඇති කළ උඩපන්දුව

Big Bash League 22/23

438

Big Bash ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) Brisbane Heat සහ Sydney Sixers කණ්ඩායම් අතර පැවති තරගයේ දී Heat නියෝජනය කළ Michael Neserගේ විශිෂ්ට උඩපන්දු රැක ගැනීමේ නීත්‍යනුකූල බව පිළිබඳ මේ වන විට වාද විවාද ඇති වී තිබෙනවා.

ඉතා ඉහළ ලකුණු රැස් වූ තරගයක් වූ මෙම තරගයේ තීරණාත්මක අවස්ථාවක Jordan Silk විසින් ලබා දුන් උඩ පන්දුවක් හතරේ සීමාව ආසන්නයේ දී ඉතාම විශිෂ්ට අයුරින් රැක ගැනීමට Neser සමත් වූ අතර, එය තරගයේ ජයග්‍රහණය Heat වෙත ලබා දීමට ද පිටුවහල් වුනා.

Silk විසින් Mark Steketee විසින් යැවූ පන්දුවකට වැරෙන් එල්ල කළ පහරක් Neser වෙත ඇදී ගිය අතර Neser විසින් පළමුව උඩපන්දුව රැක ගත් අතර පසුව ඔහුගේ සමබරතාව ගිලිහී ඔහු හතරේ සීමාවෙන් පිටතට යන බව වටහා ගෙන පන්දුව නැවත ගුවනට විසි කරනවා.

පසුව හතරේ සීමාවෙන් පිටතට ගිය Neser නැවතත් කල් යල් මැන උඩ පැන ගුවනේ තිබූ පන්දුව නැවත හතරේ සීමාව තුලට යොමු කළ අතර, ඒ සමඟම ඔහු ද නැවතත් හතරේ සීමාව තුලට පැමිණ පන්දුව රැක ගත්තා.

කෙසේ හෝ අවසානයේ පන්දුව ඔහු අතේ රැඳී තිබූ කිසිම අවස්ථාවක ඔහු හතරේ සීමාවෙන් පිටත භූමිය ස්පර්ශ කර නො තිබූ නිසා එය දැවී යාමක් ලෙස සටහන් වුනා.

Matt Renshaw මෙහෙම දෙයක් මීට වසර කිහිපයකට පෙර කළා කියලා මම දැන ගෙන හිටියා. ඒත් මම දැන ගෙන හිටියේ නැහැ ඔවුන් පසුව ඒ නීති වෙනස් කරා ද, නැද්ද කියන්න. නමුත් මම ඒ දේ කළා සහ වාසනාවකට ඒ නීති වෙනස් වෙලා තිබුණේ නැහැ.”

පසුව මාධ්‍ය ඉදිරියේ එම උඩපන්දු රැක ගැනීම පිළිබඳ ව Neser විසින් එසේ අදහස් දක්වලා තිබුණා.

එම පන්දු රැකීම සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල වූ අතර, තුන්වැනි විනිසුරුවරයා විසින් එය දැවී යාමක් ලෙස සහතික කළා. නමුත් එය දැවී යාමක් ද, නැද්ද යන කරුණ පිළිබඳ සිදුවීමෙන් පසුව මේ වන තෙක් ම වාද විවාද ඇති වෙමින් පවතිනවා.

යමෙක් Neserගේ දක්ෂතාව සහ ඔහුගේ බුද්ධිමත්භාවය පසසමින් එය දැවී යාමක් ලෙස පිළිගන්නා අතරේ ම, තවත් අය විසින් පවසා සිටින්නේ පන්දුව සහ පන්දු රකින්නා යන දෙදෙනාම හතරේ සීමාව ඉක්මවා තිබූ නිසා එය නොදැවීමක් බවයි.

Neser විසින් පළමු වර පන්දුව රැක ගන්නේ හතරේ සීමාව තුල දී වන අතර, ඉන්පසුව ඔහු පන්දුව ස්පර්ශ කරන දෙවතාවේ දී ම ඔහු හතරේ සීමාවෙන් පිටත භූමිය ස්පර්ශ නොකළ අතර දැවී යාම ලබා දුන්නේ ඒ පිළිබඳ සළකමිනුයි.

ඒ වෙනුවෙන් අදාළ නීති වගන්ති මෙසේයි,

  • 2.1. පන්දු රකින්නෙකු විසින් හතරේ සීමාවෙන් එපිට භූමිය ස්පර්ශ නො කරමින් පන්දුව රැක ගැනීම සම්පූර්ණ කළ හොත් එය උඩ පන්දුවක් ලෙස පිළිගැනෙයි.
  • 2.2. පන්දු රකින්නකු විසින් ගුවනේ දී හතරේ සීමාව ඉක්මවා ඇති පන්දුවක් උඩ පන්දුවක් ලෙස රැක ගැනීම පිළිගත හැකි වන්නේ 33.2.1 හී කොන්දේසි සපුරා ඇත්නම් පමණි.

තව දුරටත් මෙම උඩ පන්දු රැක ගැනීම පිළිබඳ විවාදයට ඌණපූර්ණ සපයමින් ක්‍රිකට් නීති සම්පාදනය කරන Marylebone Cricket සමාජය විසින් මෙසේ twitter සටහනක් තබා තිබුණා.

“වැදගත් කරුණු දෙකක් තිබේ,

  1. පන්දු රකින්නාගේ පළමු සම්බන්ධතාව හතරේ සීමාව තුළ තිබිය යුතු ය.
  2. පන්දු රකින්නා විසින් හතරේ සීමාවෙන් පිටත භූමිය සහ පන්දුව එකම අවස්ථාවේ ස්පර්ශ නො කළ යුතු ය.”

මේ දිනවල පැවැත්වෙන BBL තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<