පාකිස්තානයේ විශිෂ්ට පන්දු යැවීම ශ්‍රී ලංකාවේ ගමන නිමා කරයි!

ACC Men's Emerging Teams Asia Cup 2023

1728

නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A සහ පාකිස්තාන A කණ්ඩායම් අතර පැවැත්වුණු පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 60ක ජයග්‍රහණයක් ලබා ගත් පාකිස්තාන A කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

කොළඹ පී.සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (21) උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, එම තීරණය සර්ව සාධාරණ එකක් බවට පත් කරමින් ඔවුන් විසින් නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 322ක් ලබා ගැනීමට සමත් වුනා. 

පාකිස්තාන ඉනිමේ විශාලතම ලකුණු සබඳතාව ලෙස සටහන් වුනේ ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් නායක Mohommad Haris සහ Mubasir Khan විසින් පිහිට වූ ලකුණු 73ක සබඳතාව වීම විශේෂත්වයක්. 

පාකිස්තාන ඉනිමේ පිතිකරුවන් 11 දෙනා අතරින් 8 දෙනෙකු ම ඉලක්කම් දෙකේ ලකුණු වෙත පිවිසීමට සමත් වූ අතර, ඒ අතරින් Omair Yousuf විසින් ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වුනේ පන්දු 79ක් පමණක් වැය කරමිනුයි. 

මීට අමතරව නායක Haris විසින් පන්දු 43කින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර, Mubasirගේ පිත්තෙන් ලකුණු 42ක් වාර්තා වුනා. 

ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් පාකිස්තාන ඉනිමට දායාද වූ අතිරේක ලකුණු 25 ද සමඟින් පාකිස්තානය ලකුණු 300 කඩඉම පසුකර යාමට සමත් වූ අතර මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු සමරකෝන්, ප්‍රමෝද් මදුශාන් සහ චාමික කරුණාරත්න විසින් කඩුලු දෙක බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

නමුත් ඔවුන්ගේ පන්දුවාරයට ලකුණු ලබා දීමේ වේගය නම් එතරම් සාධනීය මට්ටමක නොරැඳුණු අතර නායක දුනිත් වෙල්ලාගේ පමණක් අද දිනයේ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතරින් පන්දුවාරයකට ලකුණු ලබා දීමේ අගය 5ට අඩු අගයක රඳවා තබා ගැනීමට සමත් වුනේ සිය පන්දුවාර 10 තුල ලකුණු 41ක් පමණක් ලබා දෙමිනුයි. එමෙන්ම ඔහු එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් වුනා. 

මේ අනුව දැවැන්ත ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකා A ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසුණු නමුත් ශ්‍රී ලංකාවේ ආරම්භය සිතූ තරම් හොඳ මට්ටමක පැවතුණේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පන්දුවාරයේ පළමු පන්දුව වන විට ලකුණු සටහනේ කඩුලු 3කට ලකුණු 33ක් සටහන් වී තිබූ අතර ඒ මොහොතේ අවිශ්ක ප්‍රනාන්දු සමඟින් පිටියේ එක් වූ සහන් ආරච්ච්ගේ ඉනිමට යම් ජීවයක් ලබා දීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනේ තරගයේ ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවලට නව පණක් ලබා දෙමිනුයි. 

නමුත් අවාසනාවන්ත ලෙස පන්දු 85කින් ලකුණු 97ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම නිමා වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය ශීඝ්‍රයෙන් පහළ බැසීමට පටන් ගත්තා. 

ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් නායක දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්ච්ගේ විසින් ලකුණු 57ක් එක් කළ නමුත් එම සබඳතාව එම මොහොතේ අවශ්‍ය වූ තරම් ඉක්මනින් දියත් නොවීම ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී බලාපොරොත්තු තවත් දුරස් කිරීමට හේතුවක් වුනා. 

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 256ක් වන විට තවත් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි සහන් ආරච්ච්ගේ ද ලකුණු 97කට දැවී ගිය අතර, ඉනිමට තවත් ලකුණු 6ක් එක් වීමෙන් පසු ලකුණු 262 දී ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලහිරු සමරකෝන් දැවී ගියේ පාකිස්තාන A කණ්ඩායමට ලකුණු 60ක ජයග්‍රහණයක් සමඟ තරගාවලියේ අවසන් මහා තරගයේ ද දොරටු විවර කරමිනුයි. 

අවිශ්ක සහ සහන් දෙදෙනා ම ලකුණු 90 සීමාව පසු කිරීමට සමත් වුවත් වෙනත් කිසිදු පිතිකරුවෙකු හෝ ශ්‍රී ලංකා A ඉනිම වෙනුවෙන් ලකුණු 20 ඉක්මවා යෑමට සමත් නොවීම මෙම පරාජයට ප්‍රධානතම හේතුව වූ බව සඳහන් කළ හැකි.  

මෙහි දී පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමෙන් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ Arshad Iqbal විසින් ලකුණු 37කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා. 

තරගයේ වීරයා සම්මානය පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිම බිඳ හෙළූ Arshad Iqbal හට හිමි වුනා. 

  • පාකිස්තාන A – 322/10 (50) Omair Yousuf 88, Mohommad Haris 52, ලහිරු සමරකෝන් 2/42, චාමික කරුණාරත්න 2/55 
  • ශ්‍රී ලංකා A – 262/10 (45.4) අවිශ්ක ප්‍රනාන්දු  97, සහන් ආරච්ච්ගේ 97, Arshad Iqbal 5/37, Sufiyan Muqeem 2/44 

මේ අතර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය මේ වන විට ඉන්දීය A සහ බංගලාදේශ A කණ්ඩායම් අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වන කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම එළඹෙන ඉරිදා (23) නැගීඑන ආසියානු කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇති. 

එම තරගය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද ඔබට සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<