දකුණු අප්‍රිකානු නායකයා හෙලි කරන පරාජයේ හේතුව

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

323

පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු නැවත අලුත් කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (03) සමත් වුනා.

වරින් වර දෙපසටම දෝලනය වෙමින් පැවැත්වුණු මෙම තරගයේ වාසිය පාකිස්තානය දෙසට හැරවීමට Shadab Khanගේ තුන් ඉරියව් දක්ෂතා ප්‍රධාන හේතුවක් වුනා.

Iftikhar Ahmed සමඟ එක් වී පාකිස්තාන ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක් එක් කිරීමට සහය වූ Shadab, පන්දු යැවීමෙන් ද දකුණු අප්‍රිකානු ඉනිමේ මුල්පෙළ කඩුලු දෙකක් බිඳ හෙළමින් ලකුණු 33ක ජයග්‍රහණයක් පාකිස්තානයට ලබා ගැනීමට සිය දායකත්වය සැපයුවා.

තමන්ගේ පිතිකරණ දක්ෂතා පිළිබඳ අදහස් දක්වමින් Shadab කියා සිටියේ, ඔහු පිටියට අවතීර්ණ වීමට ප්‍රථම පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවක් පිහිටවූ Iftikhar Ahmed සහ Mohammed Nawaz විසින් තමන්ට පහසුවෙන් ලකුණු ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දුන් බවයි.

“ඒක හොඳයි, මොකද ඔබ දිනපු තරගයක අවශ්‍ය මොහොතේ දී ලකුණු රැස් කර තිබීම වටිනවා. ඇත්තටම මම හිතන්නේ ගෞරවය ලැබෙන්න ඕන Nawazට සහ Iftikharට. පන්දු යවන්නන්ට පීඩනය නැවත යොමු කරමින් ඔවුන් විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. මම පිටියට එද්දී එය තරමක් පහසු අවස්ථාවක්.”

Iftikhar, Nawaz සහ Shadab විසින් ගොඩ නැගූ පාකිස්තාන ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 43ක් වෙද්දී බිඳ හෙළීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් සමත් වුනා.

කඩුලු එකින් එක බිඳ වැටෙද්දීත් පාකිස්තාන පිතිකරුවන් විසින් නිදහසේ පහර එල්ල කිරීමට පෙලඹීම විශේෂ සිදුවීමක්. එයට ප්‍රධාන හේතුව ලෙස සඳහන් කළ හැක්කේ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නවක ක්‍රීඩක Mohammad Harisගේ ප්‍රවේගකාරී පිතිකරණයයි. ඔහු විසින් Kagiso Rabadaගේ එක් පන්දු වාරයක් තුල හයේ පහර දෙකක් ද, එක් හතරේ පහරක් ද එල්ල කරමින් වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා.

Mohammad Haris පාකිස්තාන කණ්ඩායමට එකතු වුනේ ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ Fakhar Zamanගේ ආදේශකය ලෙසයි.

Haris විශිෂ්ටයි, ඔහුට ජාත්‍යන්තර තරග අත්දැකීම් නැති වුනත් අපි ඔහුව මෙහි රැගෙන ආවා. මොකද ඔහුට මෙවැනි ඉනිම් ක්‍රීඩා කිරීමට ඇති හැකියාව පිළිබඳ අපි දැන ගෙන හිටියා. මට ඔහු ගැන සතුටුයි, ඔහුට අපේ නායකයා කිව්වේ කිසිම කෙනෙක් හෝ කිසිම දෙයක් ගැන වද නොවී තමන්ගේ විදිහට ක්‍රීඩා කරන්න කියලයි,” නවක ක්‍රීඩකයාගේ දක්ෂතා පිළිබඳ Shadab විසින් එසේ පැවසුවා.

මේ අතර පන්දු යැවීමෙන් ද සිය දස්කම් ප්‍රදර්ශනය කළ shadab විසින් පිටියේ ස්ථාවර වෙමින් සිටි Temba Bavuma සහ Aiden Markram යන පිතිකරුවන් දෙදෙනාම එකම පන්දු වාරයක දී නැවත ක්‍රීඩාගාරය බලා හරවා යැවීමට සමත් වුනා.

විශේෂයෙන්ම ඔහු පන්දුව අතට ගත් මොහොතේ දකුණු අප්‍රිකාව DLS න්‍යාය අනූව පාකිස්තානයට වඩා ඉදිරියෙන් සිටි නමුත් ඔහුගේ එම පන්දුවාරයෙන් පසු සියල්ල නැවත උඩු යටිකුරු වුනා. නමුත් Shadab පවසන්නේ තමන් DLS පිළිබඳ අවධානය යොමු නොකළ බවත්, තමන්ගේ සැලසුම් අනුව පුරුදු පරිදි පන්දු යැවූ බවයි.

“අවංකවම මම DLS ලකුණු ගැන හිතුවේ නැහැ. මගේ තියෙන සරල සැලසුම්වලට අනුව පන්දු යැවුවා විතරයි. ඇත්තටම මම කාලගුණය ගැන දැනගෙන හිටියේ නැහැ.”

මේ අතර තම කණ්ඩායමට ක්‍රීඩා පිටියේ සිදු වූ වෙනස් වීම් වලට අනුකූලව හැඩ ගැසීමට නොහැකි වූ බව දකුණු අප්‍රිකානු නායක Bavuma විසින් පවසා සිටියා. පළමුවෙන් පාකිස්තාන පිතිකරුවන් තරමක් අපහසුවෙන් පන්දු යවන්නන්ට මුහුණ දුන් නමුත්, වර්ශාව ඇද හැලීමත් සමග ඔවුන්ට පහසුවෙන් පිතිකරණයේ යෙදීමට හැකියාව ලැබුණු බව ද Bavuma විසින් ප්‍රකාශ කළා.

“මම හිතන්නේ ක්‍රීඩා පිටියේ තත්වයන් වෙනස් වීම පිළිබඳ දැනුවත් වීමට වගේම, ඒවාට අනූව හැඩ ගැසීමට අපි කාලය ලබා ගත්තා වැඩියි. එමගින් අපි ඔවුන්ට පිටියේ ස්ථාවර වෙමින් හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න අවශ්‍ය ඉඩ ලබා දුන්නා.

මම හිතන්නේ පිතිකරණයෙන් ලබා ගත්තු ඒ ආවේගය පන්දු යවන්න එද්දිත් ඔවුන් සතුව තිබුණා, පිටියේ වාසිය ඔවුන් සතුව තිබුණා. ඔබ දන්නවා පාකිස්තානය වගේ කණ්ඩායමකට අවස්ථාවන් ලැබුනොත් ඔවුන් දන්නවා එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. ඔවුන්ගේ පන්දු යවන්නන් ගැන අපි ගොඩක් කතා කරලත් තියෙනවා. ඔවුන්ගේ වේගය, උස වගේ සාධක එක්ක ඔවුන් ගොඩක් සාර්ථකයි. ලැබුණු අවස්ථාවෙන් අපිව පීඩනයට හසු කර ගන්නට ඔවුන් සමත් වුනා.”

මේ අතර ඊයේ දකුණු අප්‍රිකාවේ පන්දු රැකීම තරමක් දුර්වල ස්වභාවයක් ගත් අතර, උඩ පන්දු කිහිපයක්ම ඔවුන් අතින් ගිලිහී ගියා.

“මේ අපි නිතරම ආඩම්බර වෙන අපේ පන්දු රැකීමේ ප්‍රමිතිය නෙවෙයි, ඊයේ අපෙන් ඒ ප්‍රමිතිය ගිලිහිලා ගිහින් තිබුනේ. මේ තාක් තරගාවලියේ අපි ක්‍රීඩා කරපු විදිහ නිසා අපි තවමත් ආරක්ෂිතයි. නමුත් මෙතැනින් පස්සේ අපේ අපේ හොඳම ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි. අපි අද හොඳින් ක්‍රීඩා කළේ නැහැ,” යනුවෙන් සිය කණ්ඩායමේ දුර්වලතා පිළිබඳ දකුණු අප්‍රිකානු නායකයා විසින් අදහස් පල කළා.

  • පාකිස්තානය 185/9 (20): Shadab Khan 52, Iftikhar Ahmed 51; Anrich Nortje 4-41)
  • දකුණු අප්‍රිකාව 108/9 (14): Temba Bavuma 36, Aiden Markram 20; Shaheen Afridi 3-14, Shadab Khan 2-16)

DLS න්‍යාය අනූව පාකිස්තානයට ලකුණු 33ක ජයග්‍රහණයක්.

සියලු ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<