ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට යන්නේ මෙහෙමයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

11222

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් දොළහ අතර තරග වටයේ 1 කාණ්ඩයේ තරග ලෙස ඊයේ දිනයේ (01) පැවැත්වූ තරග ප්‍රතිඵල සමඟින් නැවතත් එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට යන කණ්ඩායම් මොනවද යන්න පිළිබඳ කතාබහට ලක් වෙමින් පවතිනවා.

ඊයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලද ජයග්‍රහණයත්, නවසීලන්තයට එරෙහිව එංගලන්තය ලද ජයග්‍රහණයත් හේතුවෙන් කණ්ඩායම් පහකට අවසන් පූර්ව වටය දක්වා යෑමේ විවෘත අවස්ථාවක් තවමත් ඉතිරිව පවතිනවා.

අවසන් පූර්ව වටයට යන කණ්ඩායම්  දෙක පිළිබඳ අවසන් තීරණය මෙම කාණ්ඩයෙන් පැවැත්වීමට ඉතිරිව ඇති තරග තුනකින් ලැබීමට නියමිතයි.

1 කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට තේරී පත්වීමට නම් ඉදිරි තරගවල තීරණ කෙසේ ලැබිය යුතු ද යන්න පිළිබඳව විමසා බලමු.

නවසීලන්තය

  • ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව: 4
  • ලකුණු: 5
  • දල ලකුණු වේගය: 2.233
  • ඉතිරිව ඇති තරගය: අයර්ලන්තය සමඟ (ඇඩිලේඩ් හිදී)

ඊයේ එංගලන්තය ඉදිරියේ පරාජය වුව ද, තවමත් අවසන් පූර්ව වටයට පිවිසීමේ වැඩිම අවස්ථා ඇති කණ්ඩායම නවසීලන්තයි. කුමන අන්දමකින් හෝ අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරගය ජය ගැනීම පමණක් ඉදිරියට යාමට ප්‍රමාණවත් වනු ඇත.

අඩුම තරමේ ඔවුන් එක් ලකුණකින් එම තරගය ජයග්‍රහණය කළත්, ඕස්ට්‍රේලියාව විසින් ඔවුන්ගේ ඉදිරි තරගය ලකුණු 152කින් හෝ එංගලන්තය විසින් ඔවුන්ගේ ඉදිරි තරගය ලකුණු 95කින් ජයග්‍රහණය කළහොත් පමණක් නවසීලන්ත කණ්ඩායමට වඩා ඉහළ දල ලකුණු වේගයක් (2.233ට ඉහළ) ලබා ගත හැකි වනු ඇත.

කෙසේ වෙතත් සිකුරාදා (04) අයර්ලන්තය හමුවේ නවසීලන්තය පරාජය වුවහොත්, ඔවුන්ට ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වන තුරු බලා හිඳීමට සිදු වනවා.

එංගලන්තය

  • ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව: 4
  • ලකුණු: 5
  • දල ලකුණු වේගය: 0.547
  • ඉතිරිව ඇති තරගය: ශ්‍රී ලංකාව සමඟ (සිඩ්නි හිදී)

මේ වන විට එංගලන්තය , නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන කණ්ඩායම් ත්‍රිත්වය ම සම ලකුණු ලබා සිටී. නමුත් එංගලන්තයේ දල ලකුණු වේගය ඕස්ට්‍රේලියාවට වඩා ඉහළ අගයක් ගනී. එම නිසා මෙම කණ්ඩායම් තුනම තමන්ගේ ඉදිරි තරග තුන ජයග්‍රහණය කළහොත් දල ලකුණු වේගය මත ඉතිරිය තීරණය වනු ඇත. එවිට ඉහත දී සඳහන් කළා මෙන් නවසීලන්තය පහසුවෙන් ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.

සිකුරාදා ඕස්ට්‍රේලියාව ලකුණු 180ක් රැස් කර, ඇෆ්ගනිස්තානය ලකුණු 60කින් පරාජය කිරීමට සමත් වුනොත්, එංගලන්තයට ඕස්ට්‍රේලියාව අබිබවා යාමට නම් සෙනසුරාදා දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අඩුම තරමේ ලකුණු 10කින් වත් පරාජය කළ යුතුයි.

කෙසේ වෙතත් එංගලන්තය පැත්තෙන් බලන විට ඔවුන්ට ඉතා හොඳ අවස්ථාවක් ඉතිරි වී ඇත, මන්ද යත් ඔවුන් මෙම කාණ්ඩයෙන් පැවැත්වෙන අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිත හෙයින් තමන් කළ යුත්තේ කුමක් දැයි නිවැරදිව ම දැන ගත හැකි බැවිනි.

කෙසේ වෙතත් සෙනසුරාදා එංගලන්තය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් එය ඔවුන්ගේ මෙවර ලෝක කුසලාන ගමනේ අවසානය වනු ඇත. නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු තරගවල තීරණ කෙසේ විසඳුනත් ඒ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් පසු කර ඇති බැවින් වෙනසක් නොවනු ඇත.

ඕස්ට්‍රේලියාව

ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව: 4

ලකුණු: 5

දල ලකුණු වේගය: -0.304

ඉතිරිව ඇති තරගය: ඇෆ්ගනිස්තාන සමඟ (ඇඩිලේඩ් හිදී)

පෙර පැහැදිලි කළා මෙන් නවසීලන්තය සහ එංගලන්තය හා සසඳන විට ඔවුන්ගේ දල ලකුණු වේගය ඉතාම පහළ අගයක්. ඔවුන්ට වඩාත් හිතකර සිදුවීම වන්නේ ඔවුන් ඇෆ්ගනිස්තානය පරාජය කරනවාත් සමඟින් ම එංගලන්තය හෝ නවසීලන්තය තම තරගයක් පරාජය කිරීමයි. එසේ වුව හොත් දල ලකුණු වේගයේ බලපෑමක් නොමැතිවම ඔවුන් ඉදිරියට යනු ඇත.

කෙසේ වෙතත් සෙනසුරාදා එංගලන්තය හා ශ්‍රී ලංකාව මුණ ගැසීමට පෙර ඕස්ට්‍රේලියාවට ඇෆ්ගනිස්තානය මුණ ගැසෙන නිසා ඔවුන් කළ යුතු දෙය වන්නේ හැකි තරම් ඉහළ පරතරයක් රඳවා ගනිමින් එම තරගය ජයග්‍රහණය කිරීමයි.

උදාහරණයක් ලෙස ඔවුන් ලකුණු 120ක ඉලක්කයක් පන්දුවාර 12ක දී හඹා ගිය හොත්, එංගලන්තයට ඕස්ට්‍රේලියාව ඉක්මවා යාමට නම් ලකුණු 150ක ඉලක්කයක් පන්දුවාර 17කුත් පන්දු 5කි හඹා යා යුතුයි.

මේ සියල්ලෙන් ම තහවුරු වන්නේ ඉදිරි තරග තුනේ දී ගණිතයට සහ ගැටලු විසඳීම්වලට ඉහළ පිළිගැනීමක් ලැබෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාව

  • ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව: 4
  • ලකුණු: 4
  • දල ලකුණු වේගය: -0.457
  • ඉතිරිව ඇති තරගය: එංගලන්තය සමඟ (සිඩ්නි හිදී)

අවසන් පූර්ව වටයට දැන් තරග කරන කණ්ඩායම් 5 අතරින් ඉරට්ටේ ලකුණු ඇති එකම කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි. (වර්ෂාව නිසා කිසිදු බාධාවක් තරගවලට ඇති නොවීම නිසා)

ඔවුන්ට තරගාවලියේ ඉදිරියට යාමට නම් අනිවාර්යයෙන් ම සෙනසුරාදා එංගලන්තය  පරාජය කළ යුතුයි. එමෙන්ම එම ජයග්‍රහණය ලැබීම පමණක් ප්‍රමාණවත් නොවන ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තය හෝ ඕස්ට්‍රේලියාව විසින් තරගයක් පරාජය වන තෙක් බලා හිඳීමට ද සිදුවනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය ක්‍රීඩා කරන තරග දෙකෙන් එකක් වර්ෂාවට හේදී ගිය හොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අවස්ථාවක් විවර වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුව හොත් එයින් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුවලට නැවතීමේ තිත තැබිය යුතුයි.

අයර්ලන්තය

  • ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව: 4
  • ලකුණු: 3
  • දල ලකුණු වේගය: -1.544
  • ඉතිරිව ඇති තරගය: නවසීලන්තය සමඟ (ඇඩිලේඩ් හිදී)

ඔවුන්ගේ බලාපොරොත්තුවලට කොළ එලි දල්වා ගැනීමට අවශ්‍ය වේ නම් අයර්ලන්තය විසින් නවසීලන්ත කණ්ඩායම ලකුණු 105කින් හෝ ඊට වැඩි ගණනකින් පරාජය කළ යුතුයි.

එපමණක් නොවේ, එමෙන්ම ඔවුන්ට ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වන තෙක් බලා හිඳිය යුතුයි.

සරලවම කිව හැකි දෙය නම් අයර්ලන්තයට ඉදිරියට යාමට නම් මෙම තරගාවලියේ තවත් “අප්සට්” එකකට වඩා සිදු විය යුතුයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<