ලකුණු සටහන අපිට වැදගත් නැහැ – MS Dhoni

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

172

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (01) පැවැත්වුණේ Mumbai Indians සහ Chennai Super Kings අතරයි. වැඩි ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ මෙම තරගයේ ජයග්‍රහණය හිමි වුනේ Mumbai Indians හටයි.

තරගයේ ජයග්‍රහණය Mumbai Indians සතු වුනත් ලකුණු සටහනේ පෙරමුණ තවමත් හිමිව ඇත්තේ Chennai Super Kings හටයි. ඔවුන් සහභාගී වූ තරග 7න් 5ක් ජයග්‍රහණය කිරීමට සමත්ව සිටිනවා. ඊයේ පරාජයෙන් අනතුරුව අදහස් දක්වමින් Chennai Super Kings නායක MS Dhoni පවසා සිටියේ තම කණ්ඩායම ලකුණු සටහන පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකරන බවයි. 

එහි දී මාධ්‍යවේදීන් මෙම පරාජය ලකුණු සටහනට කෙබඳු බලපෑමක් ඇති කරාවි ද යන්න Dhoniගෙන් විමසා සිටියා.

“මේ වගේ ලීග් තරගාවලියක අපිට අපරාජිතව ඉන්න බැහැ. හැම කණ්ඩායමක්ම යම් තරග ප්‍රමාණයක් පරාජය වෙනවා. පරාජයන්ගෙන් ඉගෙන ගන්න එක තමයි අපි කරන්න ඕනේ” ඔහු පවසා සිටියා.

“අපි ලකුණු සටහන ගැන එතරම් හිතන්නේ නැහැ. අපි එක් එක් තරගයට අවධානය යොමු කරලා තියෙන්නේ. ලකුණු සටහනේ අපි ඉන්න තැන ගැන අපි එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. මම හිතන්නේ ඒක තමයි අපේ සාර්ථකත්වයට හේතුව වෙන්නේ” Dhoni තවදුරටත් පවසා සිටියා.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් Mumbai Indians පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තා. පසුගිය තරග කීපය තුල කැපී පෙනෙන දස්කම් දැක්වූ Ruturaj Gaikwad මුල් පන්දුවාර කීපය තුල දවා ගැනීමට Mumbai පන්දු යවන්නන් සමත්වුවත්” ඉන් අනතුරුව පිටියේ එක්වූ Faf du Plessis සහ Moeen Ali Chennai Super Kings ලකුණු පුවරුව ලකුණු 112ක් දක්වා ඔසවා තැබුවා. ඔවුන් දෙදෙනාම අර්ධ ශතක වාර්තා කළා. 

තවත් ක්‍රිකට් පුවත්:

ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව එක්වූ Ravindra Jadeja සහ Ambati Rayudu Mumbai පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළා. වේගවත් ඉනිමක් දියත් කළ Rayudu පන්දු 27ක් තුල ලකුණු 72ක් වාර්තා කළා. 

ඉනිම අවසානයේ Chennai Super Kings ලකුණු පුවරුව ලකුණු 218ක් ලෙස දැක්වුනා.

ලකුණු 219ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Mumbai Indians ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල සඳහා ලකුණු 71ක් එක් කළේ Mumbai කණ්ඩායමට ජයග්‍රහණය අපහසු නොවන බව පසක් කරමින්. කෙසේ වෙතත් ලකුණු 83කට කඩුලු 3ක් දවා ගැනීමට Chennai Super Kings පන්දු යවන්නන් සමත් වීමත් සමඟින් Mumbai පීඩනයකට ලක්වුනා.

ඉන් අනතුරුව පිටියේ එක්වූ Kieron Pollard සහ Krunal Pandya සිය කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ගියා. තරගයේ අවසන් පන්දුව තෙක්ම දෝලනය වූ තරගය ජයග්‍රහණය කිරීමට Mumbai Indians සමත්වුනේ Kieron Pollard ගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 87ත් සමඟින්. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ ද ඔහුටයි.

මෙම ජයග්‍රහණය Mumbai Indians වාර්තා කළ සිව්වැනි ජයග්‍රහණයයි. ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය ලබා සිටිනවා.

Chennai Super Kings මීළඟ තරගය සඳහා එළඹෙන 05 වැනිදා සහභාගී වීමට නියමිතයි. ඒ Rajasthan Royals සමඟින්.

Mumbai Indians ඔවුන්ගේ මීළඟ තරගය සඳහා Sunrises Hyderabad සමඟින් ක්‍රීඩා කරනවා. ඒ එළඹෙන 04 වැනිදායි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට තරග 27ක් පවත්වා අවසන්. 

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<