Kohliගේ පෞද්ගලික ජීවිතයට හොට දැමූ රසිකයාට වැඩ වරදි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2228

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට පෙර ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ පර්ත් හී පුහුණු කඳවුරකට සහභාගී වූ අතර, එහි දී තම පෞද්ගලික හෝටල් කාමරයේ දී ම තමන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කිරීමක් සිදු වූ බව ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli අනාවරණය කර තිබෙනවා.

එම සිදු වීම සිදු වූ දිනය පිළිබඳ ඔහු විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති වුවත්, ESPNcricinfo වාර්තා කරන පරිදි එය සිදු වී ඇත්තේ ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණ දින දෙකකට (ඔක්තෝබර් 08) පසුවයි.

පසුගිය ඉරිදා පර්ත් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයෙන් අනතුරුව, ඊයේ (31) Kohli විසින් සිය Instagram පිටුවේ වීඩියෝවක් පළ කරමින් මෙම සිදුවීම පිළිබඳ හෙළිදරව් කර තිබුණා.

එම වීඩියෝව ඊට ටික දිනකට පෙර “King Kohli’s hotel room” (කෝලි රජුගේ හෝටල් කාමරය) යනුවෙන් ශීර්ෂ පාඨය (caption) සඳහන් කරමින්, Virat Kohliගේ පෞද්ගලික කාමරයේ ඇවිදිමින් ගත් වීඩියෝවක පිටපතක් වන අතර, එය පළමුව සමාජ මාධ්‍ය වෙත උඩුගත කර කර ඇත්තේ හඳුනා නොගත් Tik Tok පරිශීලකයෙකු විසිනුයි.

“මට තේරෙනවා, රසිකයින් ඔවුන්ගේ කැමතිම ක්‍රීඩකයින් දැක්කාම සතුටට පත් වෙනවා, උද්යෝගිමත් වෙනවා. තමන්ගේ ප්‍රියතමයන් මුණ ගැසීමට උත්සාහ කරනවා. මම ඒක අගය කරනවා.

නමුත් මේ වීඩියෝව භයානක දෙයක්, එය මගේ පෞද්ගලිකත්වය පිළිබඳව මට ඇති කරන්නේ ව්‍යාකුල හැඟීමක්. මට මගේ පෞද්ගලිකත්වය හෝටල් කාමරය තුලවත් ආරක්ෂා කර ගත නොහැකි නම්, වෙන කොහෙන්ද මට පෞද්ගලික ඉඩක් අපේක්ෂා කරන්න පුළුවන්?

මම මේ ආකාරයේ රසික උමතුවන් අනුමත කරන්නේ නැහැ, මෙය පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක්. කරුණාකර මිනිසුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න, ඔවුන් විනෝදාස්වාදය සඳහා භාවිත කරන භාණ්ඩ ලෙස සලකන්න එපා,” යනුවෙන් Virat Kohli එම වීඩියෝව සමඟින් Instagram සටහනක් තබා තිබුණා

 

View this post on Instagram

 

A post shared by Virat Kohli (@virat.kohli)

මේ අතර මෙම සිදුවීමට සම්බන්ධ වූ හෝටලය වන Crown Towers විසින් සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයදිමින් සඳහන් කර ඇත්තේ සිදුවීමට සම්බන්ධ සේවකයින් සේවයෙන් පහ කළ බවයි.

“සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් Crown මගින් ඉවත් කර ඇත. එමෙන්ම මෙම සිදුවීමෙන් අපහසුතාවයට පත් වූ අමුත්තාගෙන් සමාව ඉල්ලා සිටින අතර මෙය එක් හුදකලා සිදුවීමක් පමණක් ලෙස පැවතීමට අවශ්‍ය පියවර ගනු ඇත.”

හෝටල් කළමනාකාරිත්වය සිදුවීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ එසේ සටහන් වී තිබෙනවා.

“ඇති වූ ගැටලුව නිවැරදි කිරීමට Crown විසින් කඩිනම් පියවර ගෙන ඇති අතර, ඊට සම්බන්ධ සේවකයින් සේවයෙන් පහ කර ඇත. එමෙන්ම සිදුවීමට අදාළ මුල් වීඩියෝව සමාජ මාධ්‍ය තුලින් ඉවත් කරන ලදි.

තුන්වැනි පාර්ශවයක් ද සම්බන්ධ කරගනිමින් Crown විසින් මේ පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර, මෙවැනි සිදු වීමක් ඉදිරියේ දී සිදු නොවීමට ගත යුතු ඕනෑම ඉදිරි පියවරක් ගනු ඇත.

එමෙන්ම අපි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් මෙන්ම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ද (ICC) සමාව අයැද සිටින අතරම ඉදිරි විමර්ශනවල දී ඔවුන් සමඟ කටයුතු කිරීමට ද බලාපොරොත්තු වන්නෙමු.”

Crown හෝටල් කළමනාකාරිත්වය එසේ පවසද්දී ICC විසින් ද මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

“2022 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර පැවති පුහුණුවීම් අතරතුර පර්ත් හීදී ක්‍රීඩක පෞද්ගලිකත්වයට සිදු වූ හානිය සම්බන්ධයෙන් ICCය ඇදහිය නොහැකි තරම් කලකිරීමට පත් වී ඇත.

එමෙන්ම මෙය එක් හුදකලා සිදුවීමක් පමණක් බව සහතික කිරීමට අවශ්‍ය පියවර හෝටලය සහ ඊට සම්බන්ධ ආරක්ෂක අංශ සමඟින් ගනිමින් සිටිමු. ක්‍රීඩකයින්ගේ පෞද්ගලිකත්වයට සෑම විටම ගරු කළ යුතුය.”

Kohliගේ සටහනට පළමුවෙන්ම ප්‍රතිචාර දැක්වූවන් අතර ඕස්ට්‍රෙලියානු පිතිකරු David Warner ද සිටි අතර, “මේක හාස්‍යජනකයි, කොහොමටවත්ම පිළිගත නොහැකි සිදුවීමක්,” යනුවෙන් ඔහු සිය අදහස දක්වා තිබුණා.

ESPNcricinfo පවසන පරිදි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙම ගැටලුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ හෝ ICC සමඟ පටලවා ගෙන නොමැති අතර, ඔවුන් එය සම්බන්ධයෙන් Crown Towers හෝටලය සමඟ පමණක් කටයුතු කර තිබෙනවා.

මේ වන විට ඉන්දියාව ලබන බදාදා (02) බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරගයට මුහුණ දීම සඳහා ඇඩිලේඩ් වෙත ගමන් කරමින් සිටිනවා.

මෙහි දී හාස්‍යයට ලක් වන කරුණක් වන්නේ Kohli විසින් මීට පෙර පවසා තිබුණේ තමන්ට ඉන්දියාවෙන් බැහැරව සිටින විට වැඩි පෞද්ගලිකත්වයක් සහ නිදහසක් හිමි වන බවත්, ක්‍රීඩකයින්ට රසිකයින්ගෙන් සිදු වන බාධා කිරීම්වලින් තොරව වීදියක වුවත් නිදහසේ ඇවිද යා හැකි බවයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPNcricinfo සහ Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<