බට්ලර්ගේ ප්‍රහාරයෙන් තරගාවලියේ ජය එංගලන්තයට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

173

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරගය අද (06) සවුත් හැම්ටන්හි දී නිමා වූයේ එංගලන්තයට කඩුලු 6ක ජයක් හිමිකර දෙමිනි.

ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය ජය ගැනීමට එංගලන්තයට හැකි විය. එම ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ දෙවැනි ස්ථානයේ සිටි එංගලන්තය පළමු තැනට පත්වූයේ පළමු තැන සිටි ඕස්ට්‍රේලියාව දෙවැනි ස්ථානය දක්වා පහතට ඇද දමමිනි.

>> එංගලන්තයට දඬුවමක්

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක ඒරොන් ෆින්ච් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් ෆින්ච් සහ වෝනර්ගේ ආරම්භක සබඳතාවය පළමු පන්දු තුන තුළ අවසන් කළේ වෝනර්ගේ ඉනිම නිලකුණු ඉනිමක් බවට පත්කරමිනි. 2012 වසරට පසුව වෝනර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු නොලබා දැවී ගිය පළමු අවස්ථාව මෙය විය. 

වෝනර්, ඇලෙක්ස් කේරි සහ ස්ටීව් ස්මිත් යන ඕස්ට්‍රේලියානු ප්‍රබල මුල් පෙළ කඩුලු තුනක් ලකුණු 30ක් තුළ දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. අනතුරුව පිටියට පැමිණි මාර්කස් ස්ටොයිනිස් සමඟින් පිටියේ එක්වූ නායක ෆින්ච්, සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 49ක සබඳතාවයක් ගොඩනංවමින් අසීරු මට්ටමක තිබූ ඕස්ට්‍රේලියානු ඉනිම යම් මට්ටමක් දක්වා ඔසවා තබන ලදි. හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 33ක දී ලකුණු 40ක් රැස්කර ගත් ෆින්ච්ගේ ඉනිම අවසන් කිරීමට ක්‍රිස් ජෝර්ඩ්න් සමත් වූයේ ඕස්ට්‍රේලියානුවන්ගේ තවත් එක් ප්‍රබල පිතිකරණ බලාපොරොත්තුවක් අවසන් කරමිනි. 

පළමු විස්සයි විස්ස තරගය තුළ දැඩි අසාර්ථක තත්වයකට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවන් මෙම තරගය තුළ යම් සාර්ථකත්වයක් ලබා ගත් බවක් පෙන්නුම් කරන්නට විය. එහි දී ස්ටොයින්ස් (ලකුණු 35), ග්ලෙන් මැක්ස්වෙල් (ලකුණු 26) සහ ඇෂ්ටන් එගාර් (ලකුණු 23) හතරේ පහර සහ හයේ පහර කිහිපයක් එල්ල කරමින් එම ලකුණු ප්‍රමාණය රැස්කර ගත්තේ අඩු පන්දු ප්‍රමාණයක් තුළයි. 

>> CPL ගිය ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින්ට සුබ පණිවිඩයක්

මැක්ස්වෙල් සහ එගාර් ඇතුළු ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවන් අවසන් පන්දුවාර තුන තුළ එංගලන්ත පන්දු යවන්නන්ගෙන් ලකුණු 40 උදුරා ගනිමින් ලකුණු 157ක තරගකාරී ලකුණු මට්ටමක් දක්වා ඕස්ට්‍රේලියානු ලකුණු සටහන ඔසවා තබන ලදි. 

පන්දු යැවීමේ දී ජෝර්ඩ්න් කඩුලු 2ක් දවා ගන්නා විට, ජොෆ්රා ආචර්, මාර්ක් වුඩ් සහ ආදිල් රෂීඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. 

පසුගිය 04 වැනිදා පැවති තරගය තියුණු සටනකට පසුව ලකුණු 2කින් එංගලන්තය ජය ගත් අතර ඒ නිසාවෙන් තරගාවලිය පීඩනයකින් තොරවම ජය ගැනීම සඳහා ඔවුන්ට මෙම  තරගයේ දී හිමිවූ ඉලක්කය ලකුණු 158කි. 

එංගලන්ත ඉනිම ආරම්භ කිරීම වෙනුවෙන් පිටියට පැමිණි ජොනී බෙයාර්ස්ටෝව් සහ ජොස් බට්ලර් පළමු කඩුල්ල සඳහා ලකුණු 19ක සබඳතාවයක් ගොඩනංවන ලදි. ලකුණු 9ක් රැස්කර ගෙන සිටි බෙයාර්ස්ටෝව්, මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවකට පුල් කිරීමක් සිදු කිරීමට වෑයම් කළත් ඔහුගේ පිත්ත පා ඉන්නේ වැදීම නිසාවෙන් එංගලන්ත පළමු කඩුල්ල Hit Wicket ලෙස දැවී ගියේය. 

අනතුරුව පිටියේ එක්වූ ඩේවිඩ් මලාන් සහ බට්ලර් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 87ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් එංගලන්ත ජයග්‍රහණ සඳහා අවශ්‍ය අඩිතාලම සවිමත් කරන ලදි. එම සබඳතාවය නිමා වූයේ පන්දු 32කට මුහුණ දුන් මේලන් හතරේ පහර 7ක් එල්ල කරමින් ලකුණු 42කට දැවී යාම නිසාවෙනි.

කෙසේ නමුත් එංගලන්ත ඉනිම ආරම්භයේ සිටම පවත්වා ගත් සිය පිතිකරණ රිද්මය තරගයේ අවසානය දක්වා පවත්වා ගෙන ගිය බට්ලර්, සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ නවවැනි අර්ධ ශතකය වාර්තා කරගන්නා ලදි. 

දඟපන්දු යවන්නන් හමුවේ තිබෙන දුර්වලතාවය නැවත වතාවක් පෙන්නුම් කළ ටොම් බැන්ටන් ලකුණු 2කට දැවී ගිය අතර කවර් කලාපයේ සිටි මැක්ස්වෙල්ගේ දක්ෂ උඩ පන්දු රැකීම නිසාවෙන් එංගලන්ත නායක මෝර්ගන්ගේ ඉනිම ලකුණු 7කට සීමා වූයේ තරගය තවදුරටත් උණුසුම් කරමිනි. 

>> ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයෙන් ප්‍රබල වේගපන්දු බලඇණියක්

පසුව පිටියට පැමිණි මොයින් අලී හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් පන්දු 6ක දී වේගවත් ලකුණු 13*ක් රැස්කර ගනිමින් බට්ලර් වෙත පතිත වෙමින් තිබූ තරගයේ පීඩනය මඟ හරවාලන ලදි. අවසානයේ බට්ලර් හයේ පහරක් එල්ල කරමින් එංගලන්ත ජය තහවුරු කළ අතර පන්දු 54ක දී ලබා ගත් ලකුණු 77* නොදැවුනු ඉනිම සඳහා හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී ඇෂ්ටන් එගාර් ලකුණු 27කට කඩුලු 2ක් දවාලන ලදි. 

ඕස්ට්‍රේලියාව – 157/7 (20): ඒරොන් ෆින්ච් 40, මාර්කස් ස්ටොයිනිස් 35, ග්ලෙන් මැක්ස්වෙල් 26, ඇෂ්ටන් එගාර් 23, ක්‍රිස් ජෝර්ඩ්න් 2/40. 

එංගලන්තය – 158/4(18.5): ජොස් බට්ලර් 77*,  ඩේවිඩ් මලාන් 42, මොයින් අලී 13*, ඇෂ්ටන් එගාර් 2/27. 

තරගයේ වීරයා – ජොස් බට්ලර් (එංගලන්තය) 

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගය මෙම මස 08 වැනිදා සවුත් හැම්ටන්හි මෙම ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වේ. එම තරගය ද ඕස්ට්‍රේලියාව පරාජය වුවහොත් නිසැක වශයෙන්ම තවදුරටත් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටීමට ඕස්ට්‍රේලියාව සිදු වනු ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<