දිල්ලි ජයග්‍රහණය නිසා පූනේ කණ්ඩායමට නොසිතූ අභියෝගයක්

747
ESPN Cricinfo

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම ඊයේ (12) ෆෙරෝ ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී වාර්තා කළ ලකුණු 7ක තියුණු ජයග්‍රහණයත් සමඟින් රයිසින් පූනේ සුපර්ජයන්ට් පිළට අවසන් වටයට පිවිසීමට තිබූ හොඳම අවස්ථාවක් මඟ හැරී ගියේය.

මුම්බායි මහගෙදරට ගොස් ලබා ගත් විශිෂ්ට පන්ජාබ් ජයග්‍රහණය

සුප්‍රසිද්ධ වන්කඩේ ක්‍රීඩාංගණයට එකම මීමැසි පොදියක් ලෙසින් ඒකරාශී වී සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ට ඊයේ (11) ලකුණු 453ක් වාර්තා වුනු අති විශේෂ තරගයක් දැකබලා ගැනීමට අවස්ථාව උදා විය.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකක් සඳහා පූනේ, හයිද්‍රාබාද් සහ පන්ජාබ් යන කණ්ඩායම් 3 අතර උණුසුම් සටනක් ඇතිවී තිබේ. එබැවින් අද සහ හෙට දිනවල දී පැවැත්වෙන මෙම කණ්ඩායම් තුන මුහුණ දෙන මූලික වටයේ තීරණාත්මක අවසන් තරග ඔවුන්ගේ ඉදිරි ගමන තීරණය කරනු ඇත.

කාසියේ වාසිය දිනා ගත් දිල්ලි නායක සහීර් කාන් තමන්ට වැඩි සහයෝගයක් ඇති ප්‍රේක්ෂකයින් බහුතරයක් වෙසෙන ෆෙරෝ ෂා කොට්ලා තණතිල්ලේ මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. නමුත් දිල්ලි ආරම්භයම බිඳ දැමූ බෙන් ස්ටෝක්ස් තරගයේ මුල්ම පන්දු වාරයේ දී ම සන්ජු සැම්සන්ව දුවද්දී දැවී යාමකට හසුකර ගත්තේය. බැක්වර්ඩ්-පොයින්ට් හි සිටි ස්ටෝක්ස් විදුලි වේගයෙන් පන්දුව අහුලා ගෙන කෙලින්ම කඩුල්ල වෙත යොමු කරද්දී සැම්සන් තම පිතිකරණ රේඛාව අසලකවත් සිටියේ නැත.

දිල්ලි කණ්ඩායම සහභාගි වුනු අවසන් තරගයේ දී ලකුණු 96ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්වුනු ශ්‍රෙයාස් අයර් ද ඊයේ ලකුණු 3කට සීමා විය. කෙසේ වෙතත් ලකුණු 9ට කඩුලු 2ක් බිඳ වැටුණු දිල්ලි ඉනිම ලකුණු 83ක් දක්වා ඉහළ දමන්නට කරුන් නයර් සහ රිශාබ් පන්ට් සමත් විය. හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් රිශාබ් ඊයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 36කි. මාලන් සැමුවෙල්ස් ලකුණු 27ක් රැස්කර ගත්තේය.

දිල්ලි ඉනිමේ නැංගුරම ලෙසින් කටයුතු කල කරුන් නයර් ඊයේ හතරේ පහර 9ක් සමඟින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 64කි. ඔහුගේ වේගවත් ඉනිමට පන්දු 45ක් ප්‍රමාණවත් විය. ඊයේ දිනයේ දී සෑම අංශයකින්ම සුපිරි දක්ෂතා දැක්වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 31කට කඩුලු 2යි. මීට අමතරව ඔහු මොහොමඩ් ශමී වැරෙන් එල්ල කළ නියත හයේ පහරක් සුපිරි පන්දු රැකීමක් මගින් කඩුල්ලක් බවට පරිවර්තනය කර ගැනීමට ද සමත් විය. ස්ටෝක්ස්ට අමතරව ජාදෙව් උනද්කට් ද කඩුලු 2කට හිමිකම් කීවේය.

ලකුණු 169ක ඉලක්කයක් සපුරා ගැනීමට පිටියට පිවිසි පූනේ කණ්ඩායමේ මුල්ම කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේ දී ම දවා ගැනීමට දිල්ලි නායක සහීර් කාන් සමත් විය. අනෙක් අන්තයෙන් ඉනිම ආරම්භ කළ රාහුල් ත්‍රිපති රැස් කළේ ද ලකුණු 7ක් පමණි. පූනේ කඩුලු නිරන්තරයෙන්ම බිඳ වැටෙද්දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් ලකුණු 60ක් රැස් කරන්නට මනෝජ් තිවාරි සමත් විය. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟිනි. මීට අමතරව ස්ටීවන් ස්මිත් සහ බෙන් ස්ටෝක්ස් පිළිවෙළින් ලකුණු 38ක් සහ 33ක් රැස් කළ ද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

පූනේ ඉනිමේ අවසන් පන්දුවේ දී මනෝජ් තිවාරි දැවී යාමත් සමඟින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට ලකුණු 7ක ජයග්‍රහණයක් හිමි විය. දිල්ලි පිළ වෙනුවෙන් පිතිකරණයෙන් ඉහළ දක්ෂතා දැක්වූ කරුන් නයර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තීරණය කිරීමට ඉතාමත් වැදගත් වන ගුජරාට් ලයන්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් අතර තරගය අද සවස 4 ට ද, කල්කටා නයිට්රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගය අද රාත්‍රී 8ට ද ආරම්භ වීමට නියමිතව ඇත.

අයි.පී.එල් තරගාවලියේ මූලික වටයේ තරග හෙට දිනයේ නිමා වන අතර මේ වන විට සියලුම කණ්ඩායම්, තරග 13 බැගින් ක්‍රීඩා කර අවසන්ය. එහි දී ප්‍රසාද ලකුණු 18ක් ලබාගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විටත් අවසන් වටයට සුදුසුකම් ලබා ඇත. ඔවුන්ට පහළින් පිළිවෙළින් කල්කටා නයිට්රයිඩර්ස් (16), රයිසින් පූනේ සුපර්ජයන්ට් (16), සන්රයිසර්ස් හයිද්‍රාබාද් (15) සහ කිංග්ස් XI පන්ජාබ් (14) යන කණ්ඩායම් ස්ථාන ගත වී ඇත. මෙම කණ්ඩායම් සියල්ලටම ක්‍රීඩා කිරීමට තවත් එක් තරගය බැගින් ඉතිරි වී ඇත.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 168 (පන්දුවාර 20): කරුන් නයර් 64, රිශාබ් පන්ට් 36, මාලන් සැමුවෙල්ස් 27, අමිත් මිෂ්රා 13*, පැට් කමින්ස් 11, ජාදෙව් උනද්කට් 2/29, බෙන් ස්ටෝක්ස් 2/31, ඩැනියෙල් ක්‍රිස්ටියන් 1/18.

රයිසින් පූනේ සුපර්ජයන්ට් – කඩුලු 7ක් දැවී ලකුණු 161 (පන්දුවාර 20): මනෝජ් තිවාරි 60, ස්ටීවන් ස්මිත් 38, බෙන් ස්ටෝක්ස් 33, ‍රාහුල් ත්‍රිපති 7, සහීර් කාන් 2/25, මොහොමඩ් ශමි 2/37, ශහ්බාස් නදීම් 1/21.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට