දෙවැනි ටෙස්ට් තරගයට බංගලි ප්‍රබලයෙක් කැඳවයි!

Sri Lanka Tour of Bangladesh 2024

52

එළඹෙන මාර්තු 30 වැනි දා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා බංග්ලාදේශය සිය සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සිය ඇසක පෙනීමේ ඇති වූ යම් ගැටලුවක් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan නැවතත් සංචිතය සමඟ එක් කර ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තීරණය කර තිබෙනවා.

පසුගිය 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී නොවූ Shakib පළමුව ඇඟිල්ලේ ආබාධයක් නිසා ක්‍රීඩාවෙන් ඈත් ව සිටි අතර, ඉන් පසුවයි ඔහුගේ පෙනීම පිළිබඳ මාතෘකාව කරළියට පැමිණියේ.

කෙසේ වෙතත් ඔහු මේ අතරවාරයේ BPL තරගාවලිය සමඟ එක් වී ක්‍රීඩා කරන අයුරු ද දක්නට ලැබුණා. නමුත් ඔහු ශ්‍රී ලංකාව සමඟ සම්පූර්ණ තරගාවලියම ක්‍රීඩා නොකරනු ඇති බවයි මීට පෙර වාර්තා වුනේ. කෙසේ වෙතත් බංග්ලාදේශය පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ ලද අවමන් සහගත පරාජයෙන් පසුව ඔවුන් මෙම තීරණය ගැනීමට පෙලඹුණු බව වටහා ගත හැකි.

මේ අනුව පළමු ටෙස්ට් තරගයේ දී බංග්ලාදේශ සංචිතයට ඇතුළත් ව සිටි Towhid Hridoy වෙනුවට Shakib සංචිතයට කැඳවා ඇති අතර, මීට අමතරව සංචිතයේ තවත් වෙනසක් සිදු කරමින් Mushfik Hasan වෙනුවට Hasan Mahmud ද සංචිතයට කැඳවා තිබෙනවා.

ඒ අනුව එළඹෙන ටෙස්ට් තරගය සඳහා නම් කළ ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතය මෙසේයි.

Najmul Hossain Shanto (නායක), Zakir Hasan, Mahmudul Hasan Joy, Shadman Islam, Litton Das, Mominul Haque, Shakib Al Hasan, Shahadat Hossain, Mehidy Hassan Miraz, Nayeem Hasan, Taijul Islam, Shoriful Islam, Khaled Ahmed, Nahid Rana, Hasan Mahmud

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<