බැංගලෝරය තවමත් වැට උඩ; මුම්බාය විශිෂ්ට දස්කම් සමඟින් ඉහළටම!

767
IPL 2023

2023 IPL තරගාවලියේ 69 වැනි තරගය ලෙස Sunrisers Hyderabad සහ Mumbai Indians කණ්ඩායම් අද (21) එකිනෙකා මුණ ගැසුණු අතර, තරගාවලියේ ස්වභාවය තවත් තියුණු කරවමින් එම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට Mumbai Indians සමත් වුනා.

මෙවර තරගාවලියේ මූලික වටය වෙනුවෙන් පැවැත්වීමට නියමිත අවසන් තරග දෙකෙන් එකක් ලෙස පැවැත්වුණු මෙම තරගය ජයග්‍රහණය කිරීම මුම්බායට අතිශයින් ම වැදගත් වූ අතර එය ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් මුම්බායට මෙවර තරගාවලියේ Play-Off වටය සඳහා තේරී පත් වීමට අවස්ථාවක් ඉතිරි ව තිබුණා.

මුම්බායි හි Wankhede ක්‍රීඩාංගණයේ දී අද සවස ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය මුම්බායි නායක Rohit Sharma සතු වූ අතර ඔහු විසින් මෙම තීරණාත්මක තරගයේ ලකුණු හඹා යාම කෙරේ විශ්වාසය තබමින් පළමුව පන්දුවට පහර දීමට හයිද්‍රාබාදයට ආරාධනා කළා.

මෙහි දී හයිද්‍රාබාදය විසින් වෙනස් කම් කිහිපයක් සමඟින් මෙම තරගයට පිවිසි අතර ඔවුන් පෙර තරගයට ක්‍රීඩා නොකළ Umran Malik, Sanvir Singh, Vivrant Sharma සහ Mayank Agarwal යන සිව්දෙනාව ම අද සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට පියවර ගත්තා.

හයිද්‍රාබාදය සිදු කළ වෙනස සාර්ථකයි

මෙතෙක් කල් තරගාවලියේ පිත්තෙන් එතරම් සාර්ථකත්වයක් පෙන්වීමට සමත් නොවූ Mayank Agarwal සහ Vivrant Sharma විසින් මෙම තරගයේ දී ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් මෙවර තරගාවලියේ හයිද්‍රාබාද් කණ්ඩායමේ පිතිකරුවන් යුගලයක් විසින් පැවැත්වූ හොඳම පිතිකරණ සබඳතාව පැවැත්වීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 13 පන්දු 5ක් තුල වේගවත් ලකුණු 140ක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් එක් කිරීමට සමත් වූ අතර, Akash Madhwalගේ පන්දුවක් හමුවේ ලකුණු 69ක් ලබා ගත් Vivrantගේ කඩුල්ල දැවී යාමත් සමඟින් එම වටිනා සබඳතාව නිමාවට පත් වුනා.

මේ අතර පසුගිය වසර ගණනාව තුල ම IPL තරග බිමේ පිත්තෙන් වැඩ දැමූ මතකයට නැවත ජීවය ලබා දුන් Mayank Agrawal ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 46කින් ලකුණු 83ක් ලබා ගැනීමෙන් අනතුරුවයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වී තිබුණා.

වේගවත් ආරම්භය වෙනුවෙන් මන්දගාමී අවසානයක්

හයිද්‍රාබාද් ඉනිමේ 17 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී Agrawal දැවී යන විට හයිද්‍රාබාද් ලකුණු පුවරුවේ ලකුණු 174ක් සටහන් වී තිබුණා. නමුත් එතැනින් පසු හයිද්‍රාබාදය වෙනුවෙන් නම් දැරූ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි Heinrich Klaasen, Glenn Phillips, Adien Markram, සහ Harry Brook යන සිව් දෙනා ම එක් වී ඉතිරි ව තිබූ පන්දු 20 තුල දී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 26ක් පමණයි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට හයිද්‍රාබාද් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 200ක් ලෙස සටහන් වී තිබූ අතර ඒ වන විට ඔවුන්ගේ කඩුලු 5ක් දවා ගැනීමට මුම්බායි පන්දු යවන්නන් විසින් සමත් වුනා.

මෙහි දී මුම්බාය විසින් සිදු කළ නවතම සොයා ගැනීම ලෙස සැකයකින් තොරව ම හඳුන්වා දිය හැකි Akash Madhwal විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 37කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

Play-Off බලාපොරොත්තුව වෙනුවෙන් මුම්බායෙන් විශිෂ්ට ආරම්භයක්

හයිද්‍රාබාදය විසින් ලබා දුන් ඉලක්කය හැකි ඉක්මනින් හඹා යාම මුම්බායි Play-Off හීනයට තව තවත් ළං වීමට හේතුවක් බව වටහා ගෙන මුම්බායි ආරම්භ පිතිකරු යුගලය පිටියට පිවිසුණු නමුත් ඔවුන්ට බලාපොරොත්තු වූ වේගවත් ආරම්භය ලබා ගැනීමට තරමක් වෙලා ගත වුනා.

මුම්බායි ඉනිමට ලකුණු 20ක් එක් වන විට ඔවුන්ගේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවා Ishan Kishanව ලකුණු 14කට දවා ගැනීමට Bhuvneshwar Kumar විසින් සමත් වුනා. නමුත් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක Rohit Sharma සමඟ පිටියේ එක් වූ Cameron Green විසින් ඉනිමට අවශ්‍ය වේගවත් බව ලබා දීමට සමත් වුනේ Power-Play පන්දුවාර 6 නිමා වන විට මුම්බායි ලකුණු පුවරුවට ලකුණු 60ක් එකතු කරමිනුයි.

එතැනින් ද නොනැවතුණු ඔවුන් දෙදෙනා විසින් ලකුණු 128ක දැවැන්ත සබඳතාවක් පවත්වමින් මුම්බායි ඉනිම ජයග්‍රහණය පෙනෙන මානය තෙක් ම රැගෙන යාමට ද සමත් වුනා. ඔවුන් ඒ සඳහා වැය ක‍ළේ පන්දු 62ක් පමණයි.

මෙහි දී Rohit විසින් සිය ඉනිම තරමක් මන්දගාමී ලෙස ඇරඹුවත්, හයිද්‍රාබාද් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් විසින් ලබා දුන් නොමද සහයේ වාසිය ද සහිත ව ඔහු වටිනා ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුනා.

මුම්බායි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 148ක් බවට පත් වන විට Mayank Dagarගේ පන්දුවකට එල්ල කළ පහරක් Nitish Kumar විසින් අග්‍රගණ්‍ය උඩපන්දුවක් ලෙස රැක ගැනීමත් සමඟින් Rohitගේ ඉනිම නිමාවට පත් වුනා.

අවශ්‍ය ම තරගයේ Green ක්‍රියාත්මක වෙයි!

නමුත් Rohitගේ දැවී යාම මුම්බාය වෙත කිසිදු බලපෑමක් එල්ල නොකළ අතර ඔහුගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි Suryakumar Yadav විසින් Green සමඟ එක් ව මුම්බාය අදාළ ඉලක්කය කරා ඉතා පහසුවෙන් රැගෙන යාමට සමත් වුනා.

මෙහි දී Surya විසින් පන්දු 16කින් නොදැවී ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වූ අතර ම සිය මංගල IPL ශතකය සොයා ගිය Cameron Greenහට එම ශතකය ලබා ගැනීමට ද විශිෂ්ට සහයක් ද ලබ දුන්නා.

ඒ අනුව ඉනිමේ ජයග්‍රාහී ලකුණ ද සමඟින් සිය පළමු IPL ශතකය කරා යෑමට Cameron Green විසින් සමත් වූ අතර, ඔහු විසින් සිය ලකුණු 100 සීමාව පසු කර යෑමට මුහුණ දුන්නේ පන්දු 47කට පමණයි. එමෙන් ම ඔහු විසින් ලබා ගත් ලකුණු 100න් 80ක් ම හයේ සහ හතරේ පහර වලින් (4×8, 6×8) ලබා ගැනීමට සමත් වීම ද විශේෂත්වයක්.

මෙහි දී හයිද්‍රාබාද් පන්දු යැවීමෙන් අද දිනයේ මුම්බායට බලාපොරොත්තු වූ තරම් අභියෝගයක් එල්ල නොවූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ අනුව Sunrisers Hyderabad කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ Mumbai Indians කණ්ඩායම මෙවර IPL ලකුණු සටහනේ සිව් වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත් වුනා.

   Sunrisers Hyderabad 200/5 (20) Mayank Agrawal 83, Vivrant Sharma 69, Akash Madhwal 4/37

   Mumbai Indians 201/2 (18) Cameron Green 100*, Rohit Sharma 56, Suryakumar Yadav 25*, Bhuvneshwar       Kumar 1/26

      තරගයේ වීරයා සම්මානය Cameron Green හට හිමි වුනා.

මේ අතර තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය Royal Challengers Bangalore සහ Gujarat Titans කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වෙනවා. මෙම තරගය ජයග්‍රහණය කිරීමට බැංගලෝරය විසින් සමත් වුවහොත් ඔවුන්ට Play-Off තරග වටය සඳහා කිසිදු බාධාවකින් තොරව ම (දල ලකුණු වේගය අනුව බැංගලෝරය මුම්බායට වඩා දැනටමත් ඉදිරියෙන් පසු වන නිසා) පිවිසීමට හැකියාව ඇති නමුත්, මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමේ අවදානමක් මතු වී තිබෙනවා.

යම් හෙයකින් එම තරගය බැංගලෝරය පරාජය වුවහොත් හෝ වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුවහොත් මුම්බායට Play-Off තරග වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබෙනවා.

එමෙන් ම මුම්බාය විසින් ලද මෙම ජයග්‍රහණයත් සමඟින් Rajasthan Royals කණ්ඩායමේ Play-Off තරග වටය පිළිබඳ බලාපොරොත්තුව ද සම්පූර්ණයෙන් ම අවසන් වුනා.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සජීවී තරග අත්දැකීම් විඳ ගැනීමට ThePapare.com වෙතින් ඔබට අවස්ථාව ලබා දී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<