සහන් සහ ලහිරු දවසේ ඉහළම දක්ෂතා දක්වයි

Dialog – SLC National Super League Limited Over Tournament 2022

630

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Dailog – SLC National Super League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දවස අවසානයේ දී දවසේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සහන් ආරචිචිගේ සහ ලහිරු මධුශංක සමත් වුනා.

මහනුවර කණ්ඩායම නියෝජනය කරන 25 හැවිරිදි වමත් පිතිකරු සහන් ආරච්චිගේ කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 80ක් රැස් කරමින් පිතිකරුවන් අතුරින් දවසේ ඉහළම දක්ෂතා දැක්වූ අතර කොළඹ කණ්ඩායම නියෝජනය කරන දකුණතින් වේගපන්දු යවන 29 හැවිරිදි ලහිරු මධුශංක ලකුණු 54කට කඩුලු 4ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතුරින් ඉහළම දක්ෂතා දැක්වූවා. එය ලහිරුගේ List A කාණ්ඩයේ ඉහළම දක්ෂතාව ද වෙනවා.

අද පැවති තරග අතුරින් ගාල්ල කණ්ඩායම, දඹුල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් ද සහ මහනුවර කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩකයෝ ද සමත් වුනා.

ගාල්ල සහ දඹුල්ල අතර තරගය

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු165ක් වාර්තා කරගත්තා. ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයන් කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 166ක් රැස් කරගත්තේ ඉනිමේ තවත් පන්දු 94ක් තිබිය දීයි.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරගත් පිතිකරු වූයේ 19 හැවිරිදි පවන් රත්නායක යි. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් රැස් කරගත්තා.

ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 33ක් වන විට දවා ගැනීමට ප්‍රතිවාදී ගාලු ක්‍රීඩකයන් සමත් වුනා. අනතුරුව කඩුල්ලේ දී දුශාන් හේමන්ත හා එක් වූ පවන් හය වැනි කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් එක් කළා.

දුශාන් හේමන්ත පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් වාර්තා කරගත්තා.

ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් අසරණ වන විට අවසන් කඩුල්ල සඳහා එක් වූ ලක්ෂාන් සඳකැන් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 58ක සබඳතාවක් එක් කළා. එය ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාව වූ අතර සඳකැන් පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ද, විශ්ව පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී ආරම්භක පන්දු යවන්නන් වූ හේෂාන් හෙට්ටිආරච්චි සහ ධනංජය ලක්ෂාන් කඩුලු 3 බැගින් දවා ගත් අතර මුදිත ලක්ෂාන් කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 166ක හඹා යන ඉනිමේ දී ගාලු ක්‍රීඩකයන්ගේ පළමු කඩුලු 5 ලකුණු 72කට සීමා කිරීමට දඹුලු ක්‍රීඩකයන් සමත් වුනා. එහි දී කැපී පෙනෙන ඉනිමක නිතර වූ අශාන් රන්දික, පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් වාර්තා කරගත්තා. එය මෙම තරගයේ පිතිකරු දක්ෂතා අතර ඉහළින්ම සටහන් වුනා.

ඊට අමතරව ධනංජය ලක්ෂාන් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ද, මුදිත ලක්ෂාන් පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 37ක් රැස් කරගනිමින් ද ගාලු කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් කළා.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව අශාන් ප්‍රියන්ජන්ට කඩුලු 2ක් හිමි වුනා.

ලකුණු පුවරුව:

දඹුල්ල කණ්ඩායම – සියලුම දෙනා දැවී 165 (49.3): පවන් රත්නායක 44, දුශාන් හේමන්ත 25, ලක්ෂාන් සඳකැන් 34, හේෂාන් හෙට්ටිආරච්චි 3/31, ධනංජය ලක්ෂාන් 3/40, මුදිත ලක්ෂාන් 2/23.

ගාල්ල කණ්ඩායම – කඩුලු 7ක්දැවී 166 (34.2): ධනංජය ලක්ෂාන් 32, අශාන් රන්දික 49, මුදිත ලක්ෂාන් නොදැවී 37, ලහිරු සමරකෝන් 3/37, අශාන් ප්‍රියංජන් 2/38.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

මහනුවර සහ කොළඹ අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් මහනුවර ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 271ක් වාර්තා කරගත්තා. නමුත් එම ලකුණු ප්‍රමාණය තවත් පන්දු 11ක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමින් පසු කිරීමට කොළඹ ක්‍රීඩකයන් සමත් වුනා.

මහනුවර ඉනිමේ අර්ධ ශතක කඩුලු සබඳතා 2ක් වාර්තා වීම කැපී පෙනුනා. ඒ 5 වැනි කඩුල්ල වෙනුවෙන් නායක කමිඳු මෙන්ඩිස් (35) සහ සහන් ආරච්චිගේ එක්ව ලකුණු 51ක් ද, 6 වැනි කඩුල්ල වෙනුවෙන් තික්ෂිල ද සිල්වා (27) සහ සහන් ආරච්චිගේ එක්ව ලකුණු 63ක් ද ලෙසින්.

සහන් ආරච්චිගේ පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 86ක් රැස් කරගත් අතර එය අද දවසේ ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වුනා. ඔහු 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පුලින තරංග හා එක්ව එම කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් එක් කළා.

පුලින තරංග අවසන් පිතිකරු ලෙසින් දැවී යන විට පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් රැස් කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ලහිරු මධුශංක අද දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 54කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව තරිඳු රත්නායක ද කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ඉනිම් 3ක් වාර්තා වීම කැපී පෙනුනා. නායක දිමුත් කරුණාරත්න පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් වාර්තා කරගත්තා. ඔහු සමඟ සිතාර ගිම්හාන් (37) ඉනිම ආරම්භ කරමින් පළමු කඩුල්ලට ලකුණු 80ක සබඳතාවක් ද එක් කළා.

නුවනිඳු ප්‍රනාන්දු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 67ක් ද, නිපුන් ධනංජය පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 70ක් ද වාර්තා කළා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 111ක්.

කොළඹ ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වන විට අශේන් බණ්ඩාර පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 33ක් රැස් කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 48කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු පුවරුව: 

මහනුවර කණ්ඩායම – සියලුම දෙනා දැවී 271 (50): ලසිත් කෲස්පුල්ලේ 33, කමිඳු මෙන්ඩිස් 35, සහන් ආරච්චිගේ 86, තික්ෂිල ද සිල්වා 27, පුලින තරංග 36, කළණ පෙරේරා 3/40, ලහිරු මධුශංක 4/54, තරිඳු රත්නායක 2/45.  

කොළඹ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 274 (48.1): සිතාර ගිම්හාන් 37, දිමුත් කරුණාරත්න 59, නුවනිඳු ප්‍රනාන්දු 67, නිපුන් ධනංජය නොදැවී 70, අශේන් බණ්ඩාර නොදැවී 33, ලසිත් ඇඹුල්දෙණිය 2/48.

තරගාවලියේ මීළඟ තරග මෙම මස 30 වැනිදාට යෙදී ඇත. ඒ අනුව ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතර තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ද, මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ එස්. එස්. සී. පිටියේ දී ද පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThaPapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<