වනිඳු සහ කුසල්ගේ සිහින බොඳ වෙයි!

SA20 2023/ ILT20 2023

2404

ගෙවී ගිය මාසයකට ආසන්න කාලය පුරා ක්‍රිකට් පිටිය උණුසුම් කරමින් විස්සයි විස්ස ලීග් තරගාවලි කිහිපයක් ම විවිධ රටවල පැවැත්වුණු අතර ඉන් තරගාවලි දෙකක අවසානය ඊයේ (12) රාත්‍රියෙන් සනිටුහන් වුනා.

මෙම තරගාවලිවල ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ දස්කම් ද වරින් වර ප්‍රකට වූ අතර, ඊයේ පැවැත්වුණු අවසන් මහා තරග ද්විත්වයේ දී ද වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් විසින් විශේෂ දක්ෂතා තම කණ්ඩායම් වෙනුවෙන් එකතු කළත්, තරග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඒවා ප්‍රමාණවත් වුනේ නැහැ.

SA20 2023

ඉතිහාසයේ ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාව විසින් සංවිධානය කළ වරලත් ක්‍රිකට් තරගාවලිය (Franchise Cricket) ලෙස SA20 විස්සයි විස්ස තරගාවලිය පැවැත්වුණු අතර එහි දී කණ්ඩායම් 6ක් තරගාවලියේ තරග වැදුණා.

මෙහි අවසන් මහා තරගය Pretoria Capitals සහ Sunrisers Eastern Cape කණ්ඩායම් අතර පසුගිය සෙනසුරාදා (11) දිනයේ දී පැවැත්වීමට නියමිත ව තිබුනත්, අයහපත් කාලගුණ තත්වය නිසා එය ඉරිදා (12) දිනට කල් දැම්මා.

ඒ අනුව ඊයේ පැවැත්වුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Pretoria Capitals පන්දුවාර 19යි පන්දු 3ක් තුල සියල්ලන් ම දැවී රැස්කර ගත්තේ ලකුණු 135ක් පමණයි. Capitals වෙනුවෙන් කිසිදු ක්‍රීඩකයෙකු විශාල ඉනිමක් ක්‍රීඩා කිරීමට අපොහොසත් වූ අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 19කින් ලකුණු 21ක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වුනා.

එමෙන්ම Eastern Cape වෙනුවෙන් පන්දු යැවීමේ දී Roelof Van der Merwe විසින් ලකුණු 31කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

පළමු SA20 කිරුළ දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිළිතුරු ඉනිම දියත් කළ Eastern Cape විසින් පහසුවෙන් අදාළ ලකුණු සංඛ්‍යාව හඹා යෑමට සමත් වූ අතර ඔවුන් පන්දුවාර 16යි පන්දු 2ක දී කඩුලු 6ක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙහි දී Eastern Cape ජයග්‍රහණය තහවුරු කළ Adam Rossington විසින් පන්දු 30කින් ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුනා.

අවසන් මහා තරගයේ වීරයා ලෙස Eastern Cape වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Roelof Van der Merwe සම්මාන දිනා ගත් අතර තරගාවලියේ වීරයා වීමට Eastern Cape නායක Aiden Markram සමත් වුනා.

මෙහි දී SA20 තරගාවලියේ තරග 7ක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් 31.85ක පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව ලකුණු 223ක් රැස් කිරීමට සමත් වුනා.

එමෙන්ම Johannesburg Super Kings නියෝජනය කරමින් තරග 7ක් ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා.

ILT20 2023

SA20 තරගාවලියට සමගාමීව ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු ILT20 තරගාවලියේ අවසන් මහා තරගය ද ඊයේ පැවැත්වුණු අතර එහි දී තරගාවලියේ හොඳින් ම දස්කම් දැක්වූ කණ්ඩායම් ද්විත්වය වන Gulf Giants සහ Desert Vipers කණ්ඩායම් ඊයේ පැවැත්වුණු අවසන් මහා තරගයට ක්‍රීඩා කළා.

අවසන් මහා තරගයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් Desert Vipers නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 146ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගාවලියේ සාර්ථක ම පිතිකරු වූ Alex Hales නැවත වරක් අවශ්‍ය ම මොහොතේ අසාර්ථක වීමෙන් ලද දුර්වල ආරම්භය නිසා පන්දුවාර 8යි පන්දු 3ක් වන විට Vipers ඉනිමේ කඩුලු 4ක් ලකුණු 44කට දැවී ගොස් අසරණ තත්වයක පසු වුනා.

නමුත් පසුව පිටියට පිවිසි වනිඳු හසරංග විසින් දියත් කළ ප්‍රවේගකාරී පිතිකරණය නිසා Vipers කණ්ඩායමට තරමක සාධනීය ලකුණු සංඛ්‍යාවක් කරා එළඹීමට හැකියාව ලැබුණා. එහි දී වනිඳු විසින් පන්දු 27ක දී ලකුණු 56ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සිය ඉනිමට අන්තර්ගත කර ගනිමිනුයි.

මෙහි දී වනිඳු විසින් සිය අර්ධ ශතකය රැස් කිරීමට වැය කළේ පන්දු 21ක් පමණක් වන අතර එය ILT20 තරගාවලියේ තෙවැනි වේගවත් ම අර්ධ ශතකය ලෙසින් වාර්තා පොත්වලට ද එකතු වුනා.

Gulf Giants වෙනුවෙන් පන්දු යැවීමේ දී Carlos Brathwaite විසින් ලකුණු 19 කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

පළමු ILT20 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි Giants කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 26ක් තුල දැවී ගිය ද පසුව පිටියේ එකතු වූ Chris Lynn සහ Gerhard Erasmus විසින් තරගයේ වාසිය Vipers වෙතින් ඈත් කිරීමට සමත් වුනා.

ඒ අනුව පන්දුවාර 18.4ක දී කඩුලු තුනක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමට සමත් වූ Giants තරගය ජයග්‍රහණය කරද්දී නොදැවී පිටියේ රැඳී සිටි Lynn ලකුණු 72ක් රැස් කිරීමට සමත් වී තිබුණා.

Vipers වෙනුවෙන් හොඳම පන්දු යැවීම සටහන් කිරීමට සමත් වූයේ ද වනිඳු ම වන අතර ඔහු සිය පන්දුවාර 4 තුල දී ලකුණු 28කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට Alex Hales සමත් වූ අතර, වැඩිම කඩුලු ලාභියා වීමට Chris Jordan සමත් වුනේ කඩුලු 20ක් දවා ගනිමිනුයි.

මෙහි දී තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර තුන්වැනි ස්ථානයට පත්වීමට වනිඳු හසරංග සමත් වුනේ කඩුලු 15ක් බිඳ හෙළමිනුයි. මීට අමතරව ලහිරු කුමාර ද Abu Dhabi Knight Riders වෙනුවෙන් කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වුනා.

එමෙන්ම මතීෂ පතිරණගේ වේගවත් පන්දු යැවීම ද බොහෝ අවස්ථාවල දී විචාරක පැසසුම්වලට භාජනය වන අයුරු දකින්නට ලැබුණා.

මේ අතර දසුන් ශානක Dubai Capitals නියෝජනය කරමින් මෙම තරගාවලියේ දී ලකුණු 155ක් රැස් කිරීමට සමත් වූ අතර පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද සාර්ථක වූ වනිඳු විසින් ලකුණු 115ක් රැස් කර ගැනීමට සමත් වුනා.

මේ අතර BPL තරගාවලියේ අවසන් තරග කිහිපය මේ දිනවල පැවැත්වෙන අතර, PSL තරගාවලිය අද දිනයෙන් ආරම්භ වීමට නියමිතයි.

ඒ තරග සඳහා ද ශ්‍රී ලංකා නියෝජනයන් කිහිපයක් ම සහභාගී වීමට නියමිත අතර ඒ පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<