අයෝමාල් අවසන් වටයට

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල 2023

990

ට්‍රිනිඩෑඩ් හී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු පැනීමේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට යොවුන් ක්‍රීඩක අයෝමාල් අකලංක සමත් වුනා.

තරගාවලියේ බාලක මීටර් 400 කඩුලු පැනීමේ අවසන් පූර්ව තරගයට සහභාගී වූ අයෝමාල් තත්පර 51.99ක කාලයකින් එම ඉසව්ව පළමුවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වුනා.

17 වැනි වියේ පසුවන අයෝමාල් මෙම ඉසව්ව සඳහා දැක්වූ ඉහළම දක්ෂතාවය මෙය වන අතර අවසන් පූර්ව වටයේ වාර්තා වූ වේගවත්ම කාලය අයෝමාල් විසින් වාර්තා කිරීම ද විශේෂත්වයක්.

අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගනුම ලබන අයෝමාල් මෑත කාලයේ කඩුලු පැනීම ඉසව්වෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු නිමා වූ කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 400 කඩුලු පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.

මෙම තරගාවලිය සඳහා සහභාගී වීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වීසා ගැටලුවකට මුහුණ දීමට සිදු වූ අතර ඔවුන්ට තරගාවලිය සඳහා සහභාගී වීමට හැකි වුනේ සමාරම්භක උළෙලටත් පසුවයි.

එමෙන්ම මෙම ගැටලුව නිසා අකලංක ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවාට ද මෙම තරගාවලියට සහභාගී වීමට නොහැකි වූ අතර ඔවුන් තරගාවලියට පිටත් වුනේ සිය පුහුණුකරුවා ද නොමැතිවයි.

මෙලෙස දැඩි බාධක ඔස්සේ තරගාවලියට සහභාගී වෙමින් අයෝමාල් දැක්වූ දස්කම ඉතා කැපී පෙනෙන අතර ඔහු අවසන් තරගයට අද (09) සහභාගී වෙනවා.

2023 පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල ඇතුළු මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<