යුපුන් ලෝක ප්‍රබලයින් සමඟ සටනකට සැරසෙයි

Florence Diamond League 2023

747

ජුනි 02 වැනිදා ඉතාලියේ Florence හිදී පැවැත්වීමට නියමිත සුප්‍රකට Florence Diamond League 2023 තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් සහභාගී වීමට නියමිතයි.

මලල ක්‍රීඩා පිටියේ පැවැත්වෙන වැඩි අවධානයක් දිනා ගත් තරගාවලියක් වන මේ සඳහා මෙවර ලෝක මලල ක්‍රීඩා පිටියේ සිටින ප්‍රබලතම ක්‍රීඩකයින් රැසක් ලියාපදිංචි ව තිබෙනවා.

වත්මන් මීටර් 100 ලෝක ශූර Fred Kerley, ඔලිම්පික් ශූර Lamont Marcell Jacobs සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ශූර Ferdinand Omanyala එම තරගයට සහභාගී වීමට නියමිත අතර ඔවුන්ට අමතර හිටපු ලෝක ශූර Yohan Blake ද මෙම තරගයට ඇතුළත්.

තරගයට ඇතුළත්ව තිබෙන ක්‍රීඩකයින් අට දෙනා අතරින් හත් දෙනෙකු මීටර් 100 ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කර ඇති ක්‍රීඩකයින් වීම ද විශේෂත්වයක්.

ඉතාලි ක්‍රීඩක Samuele Ceccarelli මෙම ඉසව්වට ඇතුළත් මීටර් 100 තත්පර 10ට අඩු කාලයකින් අවසන් නොකළ එකම ක්‍රීඩකයා වන අතර එම ක්‍රීඩකයින් අතරින් වේගවත්ම කාලය ලෙස සටහන් වන්නේ ජැමෙයිකානු ක්‍රීඩක Yohan Blake විසින් 2012 වසරේ දී වාර්තා කළ තත්පර 9.69ක කාලයයි.

යුපුන් අබේකෝන් ඩයමන්ඩ් ලීග් තරගාවලියක් නියෝජනය කළ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර මේ දක්වා තරග පහකට සහභාගී වී ඇති ඔහුගේ Diamond ලීග් තරග ගොන්නට Zurich ඩයමන්ඩ් ලීග් අවසන් තරග දෙකක් ද ඇතුළත් වෙනවා.

මීටර් 100 ඉසව්වේ ජාතික සහ දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන් අබේකෝන් පසුගිය වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කර තත්පර 10ට අඩු කාලයකින් එම ඉසව්ව අවසන් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වීමට ද ඔහුට හැකි වුනා.

මෙම උණුසුම් තරගයේ ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<