තවත් ක්‍රීඩිකාවක් ලෝක ශුරතාවයෙන් ඉවත් වෙයි

ලෝක මලල ක්‍රීඩා ශූරතාවය 2023

4480
Gayanthika Abeyrathne Withdrawal from WAC 2023

මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයෙන් ඉවත් වීමට මැදිදුර ධාවන ශූරී ගයන්තිකා අබේරත්න තීරණය කර තිබෙනවා. 

සැප්තැම්බර් මාසයේ චීනයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් සිදු කිරීම සඳහා ඇය සහ ඇයගේ පුහුණුකරු විසින් මෙම තීරණය ගත් බව මලල ක්‍රීඩා සංගමය තහවුරු කර සිටියා. 

කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කරමින් මෙවර ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගත් ඇය ලෝක ශූරතාවයක් සඳහා සුදුසුකම් ලබා ගත් දෙවැනි අවස්ථාව මෙයයි. 

මෑත කාලයේ දී මීටර් 800 සහ 1500 ඉසව්වේ ඉහළ දස්කම් දක්වමින් සිටින ගයන්තිකා පසුගිය වසරේ පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර ඇය නිමා වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී ලෝකඩ පදක්කම් ද්විත්වයක් දිනා ගත්තා. 

ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයෙන් ඉවත් වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා ඇය වන අතර මීට පෙර කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරගාවලියෙන් ඉවත් වන බව ප්‍රකාශ කළා. 

මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට ගයන්තිකාට අමතරව හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ, මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන සහ පිරිමි මීටර් 4X400 සහය දිවීමේ කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.  

දිනෙන් දින උණුසුම් වන මලල ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<