සුරතලුන් සටනට කැඳවන සා. සිල්වෙස්තර සහ විද්‍යාර්ථ මහ තරගය

1075

අඩසිය වසරක් තිස්සේ නොලැබූ ජයග්‍රහණයක් සොයමින් වෙහෙසෙන මහනුවර විද්‍යාර්ථයින් සමඟ වසර 8ක ජයග්‍රහණය අලුත් කර ගැනීමට මාන බලන සාන්ත සිල්වෙස්තරයින් එකිනෙකා මුණ ගැහෙන සුරතලුන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 9 සහ 10 දෙදින මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සුලෝහිත සංග්‍රාමයට මාන බලන ආනන්ද නාලන්ද සහෝදරත්වය

වසර 65ක් තිස්සේ දිනාගත නොහැකිවූ ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ ශූරතාව දිනා ගැනීම සඳහා…

සුරතලුන්ගේ තරග ඉතිහාසය 1955 තරම් ඈතට දිව යන්නකි. එතැන් සිට මේ දක්වා පැවති වාර්ෂික මහ ක්‍රිකට් තරග අතුරින් සාන්ත සිල්වෙස්තර විද්‍යාලය තරග 14ක ජයග්‍රහණ ලබා ඇති අතර විද්‍යාර්ථ විද්‍යාලය ලබා ඇත්තේ තරග 3ක ජයග්‍රහණ පමණි. ඒ අනුව පැවති අනෙකුත් තරග 42 ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. 1970 වසරේ සිට 1973 වසර දක්වා වූ වසර ත්‍රිත්වයේ තරග පවත්වා නොමැත.

තරග ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වී ඇත්තේ සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 2009 වසරේ දී චානක කොළඹගේ ගේ නායකත්වය යටතේ ලැබූ ජයග්‍රහණයයි. ඒ අනුව ජයග්‍රාහකයන් සඳහා 1982 වසරේ සිට පිරිනැමෙන දොන් ග්‍රේරෝ පියතුමාන්ගේ අනුස්මරණ කුසලානය මේ වන විට සුරක්ෂිත වන්නේ සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය කැබිනෙට්ටුවේ ය. විද්‍යාර්ථයින් අවසන් වරට වාර්ෂික මහ ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 1967 වසරේ ආර්. එම්. ලාෆීර්ගේ නායකත්වය යටතේ ය.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය මෙවර අවිඳු හේරත්ගේ නායකත්වය යටතේ වාර්ෂික මහ තරගයට පිවිසෙනුයේ වසර 8කින් නොලැබූ ජයග්‍රහණයක් ලබා ගැනීමේ අටියෙන් වන අතර විද්‍යාර්ථයින් මෙවර පුලින ගුණතිලකගේ නායකත්වයෙන් වාර්ෂික මහා තරග පිටියට පිවිසෙන්නේ අර්ධ ශතක වසරක් පුරා නොලැබූ ජයග්‍රහණයක් ලබා ගැනීමේ සැලසුම් සහිතව ය.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගාවලිය නියෝජනය කරන සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම මෙම තරග වාරයේ දී තමන් සහභාගී වූ කිසිදු තරගයක් ජය ගැනීමට සමත් වන්නේ නැත. ඔවුන් එකී කනස්සල්ලත් සමඟින් ඔවුන් වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වන අතර කොළඹ ලුම්බිණි, ගාල්ල මහින්ද සහ මහනුවර ධර්මරාජ විද්‍යාල වෙතින් ලත් පරාජයන් ද ඔවුන්ගේ සිත් හී තැන්පත්ව ඇතිවාට කිසිදු සැකයක් නැත.

කෙසේ වෙතත් තනිව තනිව දක්ෂතා වර්ග කිරීමේ දී කණ්ඩායමේ කැපී පෙණෙන ක්‍රීඩකයා වන්නේ කණ්ඩායමේ නායකත්වයේ සේ ම කඩුලු රැකීමේ ද වගකීම දරණ අවිඳු හේරත් ය. ඔහු මෙම තරග වාරයේ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 400 සීමාව ආසන්නයට පැමිණ සිටී. කණ්ඩායමේ අනෙක් විශ්වාසවන්තම පිතිකරු වී සිටින්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන මනෝහරන් පවිත්‍රන් ය. ඔහු ද අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 400 සීමාවේ සිටී. ඊට අමතරව උප නායක නිම්සර අතරගල්ල සහ මංජිත් රාජපක්ෂ ද පිතිකරුවන් සේ දක්ෂතා දක්වමින් මෙම තරග වාරය නිමා කර සිටී.

පන්දු යැවීමේ දී වඩාත් විශ්වාසවන්තයා වී සිටින්නේ උප නායක නිම්සර අතරගල්ල ය. ඔහු ඉදිරියේ ලියැවී ඇති කඩුලු සංඛ්‍යාව 35කි. ඊට අමතර ව වමතින් දඟපන්දු යවන හසිඳු නිශ්ශංක කඩුලු 23ක් දවා ගනිමින් දක්ෂතා දක්වමින් සිටී.

සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

අවිඳු හේරත් (නායක), නිම්සර අතරගල්ල (උප නායක), මංජිත් රාජපක්ෂ, මනෝහරන් පවිත්‍රන්, නදීර බාලසූරිය, කනිශ්ක ජයසේකර, හසිඳු නිශ්ශංක, රශ්මික වඩුගේ, මොහොමඩ් රීසා, පසිඳු ජයකොඩි, අභිෂේක් ඉසුරංග, ශෂික බස්නායක, අභෂේක් කුමාර්,  කසුන් එදිරිතිලක, පසන් හෙට්ටිආරච්චි, චන්ද්‍රබාහු හිරෝෂන්, නිමේෂ් විජේසිංහ, චන්දල ජයකොඩි, පසිඳු කෝරලේගෙදර, කෙවින් නිමේෂාන්, එන්. රොද්‍රිගෝ, සදීප අහමඩ්, ඩී. ආකාෂ්, පසිඳු සිල්වා මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ජාලිය වීරසිංහ මහතා (පුහුණුකරු)

විද්‍යාර්ථ විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කරන විද්‍යාර්ථ විද්‍යාලය තමන් සහභාගී වූ තරග අතුරින් හොරණ තක්ෂිලා විද්‍යාලය, බලපිටිය රේවත විද්‍යාලය සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් වාර්ෂික මහා තරගයට සහභාගී වීමට සූදානමින් සිටී.

කණ්ඩායම් නායක පුලින ගුණතිලකගේ සේ ම විද්‍යාර්ථයින්ගේ වැඩි විශ්වාසය දිනා සිටින ක්‍රීඩකයා වී සිටින්නේ හය වැනි වසරේ වර්ණලාභී පසුගිය වසරේ නායක රවිෂ්ක උපනන්ද වෙත ය. මෙවර පාසල් ක්‍රිකට් වාරයේ විද්‍යාර්ථයින් වෙනුවෙන් ලකුණු 600 සීමාව ආසන්නයේ සිටින ඔහු මේ වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයට සහ තක්ෂිලා විද්‍යාලයට එරෙහිව ශතක ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇත.

කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වී සිටින්නේ වමත් පිතිකරු උප නායක ඉසුරු ප්‍රබෝධ ය. ශතක නොමැති ඔහුගේ ඉනිමේ අර්ධ ශතක 4ක් සමඟින් එකතු වී ඇති ලකුණු සංඛ්‍යාව 644කි. ඊට අමතරව නායක පුලින ගුණතිලක ද කණ්ඩායමේ අනෙක් ශතක ලාභියා වෙමින් ලකුණු 400 පසුකර පිතිකරුවෙක් ලෙසින් විශ්වාසය දිනා සිටී. ඊට අමතරව පිතිකරණ බලඇණිය ශක්තිමත් කිරීමට කසුන් කරුණාතිලක සහ මෙදුනක විජේතිලක සූදානමින් සිටී.

විද්‍යාර්ථයින් අතුරින් වැඩිම විශ්වාසය දිනා ඇති පන්දු යවන්නා වී සිටින්නේ තවමත් 16 වැනි වියේ පසුවන මෙදුනක විජේතිලක වෙත ය. ඔහු මේ වාරයේ ලබා ඇති කඩුලු සංඛ්‍යාව 44කි. ඊට අමතරව දකුණතින් පිට දඟපන්දු යවන කසුන් කරුණාතිලක කෙරෙහි තබා ඇති විශ්වාසයේ ද අඩුවක් නැත. වේගපන්දු යවන්නන් අතුරින් කණ්ඩායමේ විශ්වාසය හිමිව ඇත්තේ වමතින් පන්දු යවන ඉෂාන් සංගීත් වෙත ය.

විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම

පුලින ගුණතිලක (නායක), ඉසුරු ප්‍රබෝධ (උප නායක), රවිෂ්ක උපනන්ද, කසුන් කරුණාතිලක, ගිහාන් ජයසේකර, චතුරංග රත්නායක, මෙදුනක විජේතිලක, ඉෂාන් සංගීත්, දුමිඳු ඉමාෂ්, ශාමල් වෙල්ගමගේ, සහන් සිරිවර්ධන, කවිෂ්ක තෙන්නකෝන්, තරිඳු මහගෙදර,  අරෝෂ දිල්හාර, ආදිත්‍ය බණ්ඩාර, සංදීප මාපලගමගේ, නෙත්මාල් විදානගමගේ, සංජය සෙනෙවිරත්න, හසිත මාපලගමගේ, ටී. එල්. සී. රංජන් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), චම්පික සිරිවර්ධන මහතා (පුහුණුකරු)

අඩසිය වසරක් තිස්සේ ජයග්‍රහණයේ පහස නොලැබූ විද්‍යාර්ථයන් මෙවර සුරතලුන්ගේ මහා ක්‍රිකට් තරයේ දී සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයන්ට වඩා දක්ෂතා අතුරින් ඉදිරියෙන් සිටින අයුරක් බැලූ බැල්මටම පෙන්නුම් කරයි. නමුත් ඔවුන් පාසල් ක්‍රිකට් තරගාවලියේ දී තරග වදින්නේ දෙවැනි කොටසේ කණ්ඩායම් සමඟිනි.

සාන්ත සිල්වෙස්තරයන් පාසල් ක්‍රිකට් පිටියේ සැරිසරන්නේ පළමු කොටසේ කණ්ඩායම් සමඟ ය. ඔවුන්ගේ පාසල් තරග පිටියේ දක්ෂතා මෙවර තරමක් දුර්වල වූව ද සුරතලුන්ගේ තරග ඉතිහාසය පුරාම ඔවුන් තම ආධිපත්‍ය ඒ තුළ පතුරුවා සිටී.

එබැවින් මේ සිකුරාදා (09) ඇරඹෙන මහනුවර සුරතලුන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය දෙපිළ තියුණු සටනකට කැඳවනු නොඅනුමාන ය. සීතල මහනුවර ගිනියම් වන දක්ෂතාවලින් අනූන මේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වන දෙපිලේ ම සුරතලුන්ට ThePapare.com වෙතින් සුභාෂිංශන එක් කරමු.  

පාසල වෙනුවෙන් ඔබේ සුබ පැතුම් පහතින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<