නුවන්, ඕෂද, අවිශ්ක ආයෙත් සංචිතයට

336

ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (04) නම් කෙරුණා. මේ සඳහා ක්‍රීඩකයන් 24 දෙනෙකු ඇතුළත් වනවා. එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වන ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලිය එළඹෙන ජුනි 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 08 වැනිදා විශේෂ ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්වීමට නියමිතයි.

පසුගිය දා නිමා වූ බංග්ලාදේශ එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා නායකත්වය හිමි වූ කුසල් ජනිත් පෙරේරා මෙම තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනවා. ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය මීට පෙර දසුන් ශානක හට හිමිව තිබූ අතර මෙම තරගාවලියේ දී එහි නායකත්වය ද හිමිවන්නේ කුසල් පෙරේරා හටයි.

දසුන් ශානකගේ වීසා අයදුම්පතේ සිදු වූ ගැටලුකාරී තත්ත්වයක් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ කොදෙව් තරගාවලියේ දී ද ඔහුට නායකත්වය දැරීමට හැකි වුනේ නැහැ. 

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වුනේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හටයි. කෙසේ වෙතත් වත්මන් තේරීම් කමිටුව විසින් අනුගමනය කරන නවක ක්‍රීඩකයන් යොදාගැනීමේ ප්‍රතිපත්තිය නිසා මෙම තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් එක්වන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායම මීට පෙර සහභාගී වූ කොදෙව් සංචාරය සඳහා සහභාගී නොවූ අතර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ඔහුට බංග්ලාදේශ තරගාවලිය සඳහා ද එක්වීමට හැකි වුනේ නැහැ. 

කෙසේ වෙතත් අවිශ්ක ප්‍රනාන්දු මෙවර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්ව ඇති අතර ඔහු මෙම නම් කළ කණ්ඩායම සඳහා ඇතුළත් වී සිටිනවා. ඊට අමතරව ඕෂද ප්‍රනාන්දු හට ද සංචිතයේ ස්ථානයක් හිමිව තිබීම විශේෂත්වයක්. ඔහු මීට පෙර විස්සයි විස්ස තරගයක් සඳහා ක්‍රීඩා කළේ 2020 වසරේ මුල් භාගයේ දීයි.

තවත් ක්‍රිකට් පුවත්:

නිමා වූ බංග්ලාදේශ තරගාවලිය සඳහා සහභාගී වූ අශේන් බණ්ඩාර පමණක් මෙම එංගලන්ත තරගාවලිය සඳහා නම් කර නැහැ. ඒ ඔහුට ඇතිවූ ආබාධයක් නිසාවෙන්.

මීට අමතරව ජ්‍යේෂ්ඨ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් මෙම සංචිතය සඳහා එක්ව තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වූ කසුන් රාජිත ද එංගලන්ත තරගාවලිය සඳහා එක්වනවා.

මේ අතර නම් කළ සංචිතය සඳහා නවක ක්‍රීඩකයන් කීපදෙනෙකු එක්ව තිබීමත් කැපී පෙනෙන කරුණක්. එයට මැදපෙළ පිතිකරු චරිත් අසලංක, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ධනංජය ලක්ශාන් සහ දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ඉශාන් ජයරත්න මෙම සංචිතය සඳහා ඇතුළත් වනවා. ඔවුන් පසුගිය කාලයේ දී දේශීය තරගාවලිය තුල දැක්වූ දක්ෂතා නිසා ඔවුන්ට සංචිතයේ ස්ථානයක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 08 වැනිදා එංගලන්තය බලා යාමට නියමිත අතර ඔවුන් එහි දී පුහුණු තරග දෙකක් සඳහා ද සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ජුනි 23 වැනිදා ආරම්භ වනවා.

 එංගලන්ත තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය 

  • පිතිකරුවන්: කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, නිරෝශන් දික්වැල්ල 
  • තුන් ඉරියව් ක්‍රීඩකයන්: දසුන් ශානක, චාමික කරුණාරත්, ධනංජය ලක්ශාන්, වනිඳු හසරංග 
  • දඟපන්දු යවන්නන්: රමේෂ් මෙන්ඩිස්, ලක්ශාන් සඳකැන්, අකිල ධනංජය 
  • වේගපන්දු යවන්නන්: දුශ්මන්ත චමී, ඉසුරු උදාන, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, ඉශාන් ජයරත්න 

*මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.

ශ්‍රී ලංකා එංගලන්ත තරග කාලසටහන 

  • පළමු විස්සයි විස්ස තරගය – ජුනි 23 වැනිදා Cardiff හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11)
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජුනි 24 වැනිදා Cardiff හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11)
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජුනි 26 වැනිදා Southampton හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7)
  • පළමු එක්දින තරගය – ජුනි 29 වැනිදා Durham හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30)
  • දෙවැනි එක්දින තරගය – ජූලි 01 වැනිදා London හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30)
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 04 වැනිදා Bristol හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<