පන්දමට තැන දුන්න කාලේ අවසන් කළා

105

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට පාසල් ක්‍රිකට්වලින් ලැබෙන දායකත්වය වැදගත් වන්නා සේම ජාත්‍යන්තරය ජයගැනීමට අවශ්‍ය මූල බීජය සැකසෙන්නේද පාසල් ක්‍රිකට්වලින් බව නොරහසකි.

පාසල් ක්‍රිකට් තත්ත්වය පහළට වැටුණහොත් එයින් සිදුවන හානිය අති මහත්ය. මෙම බැරෑරුම් කර්තව්‍යයට පෙරමං සපයන්නටද ලෙහෙසි නැත. එහෙයින් වර්තමානයේදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය කෙසේද? ඉදිරි අරමුණු මොනවාද යන්න පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කිත්සිරි ලියනගමගේ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට සුදුස්සාට නියම තැන ලබාදීමටත්, විධිමත් ආචාරධර්ම පද්ධතියක් ඇති කිරීමටත් වැඩපිළිවෙළක් සකසා ඇති බවය.

“පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න නම් ඒ ක්‍රීඩාව පිළිබඳ දැනීමක් ඇති පුහුණුකරුවන් සොයාගෙන ඔවුන්ට ආධාර උපකාර ලබාදී ඔවුන්ගේ දැනුම අපේ දරුවන්ට ලබාදීම පළමුවෙන්ම කළ යුතුයි. ඒ වගේම මේ දක්වා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පිරිහී ඇති විනය යළි ගොඩනැගිය යුතුයි. විනයක් නොමැති නම් දක්‍ෂතාවයෙන් වැඩක් නැහැ. මේ දෙකම සමබර වුණොත් පමණයි මොවුන්ට ජාත්‍යන්තරය ජයගත හැක්කේ” යනුවෙන් පැවැසූ ලියනගමගේ මහතා පාසල් ක්‍රිකට් පිරිහී යාමට දෙමව්පියන්ද වගකිව යුතු බවද සඳහන් කළේය.

“අද පාසල් ක්‍රිකට් කණ්ඩායමට තම දරුවා ඇතුළත් කරගැනීමට සමහර මවුපියන් පාසල් කණ්ඩායමේ පුහුණුකරුවන්ට ඕනෑම දෙයක් ලබාදෙන තත්ත්වයකට පාසල් ක්‍රිකට් පත්වෙලා තියෙනවා. මෙය කනගාටුදායක තත්ත්වයක්. දක්‍ෂ ළමයෙක් ඉන්න මවුපියන් එම තත්ත්වයට පත්විය යුතු නැහැ. මේ හේතුවෙන් දක්‍ෂ දරුවාට ඉදිරියට යන්න බැරි වෙලා තියෙනවා. මේ තත්ත්වයත් අපි නැතිකළ යුතුයි” යන්න සඳහන් කළ ලියනගමගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති තනතුර හොඹවන තමාට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති හා පාසල් බැඩ්මින්ටන් සභාපතිවරයා යන තනතුර කටු ඔටුන්නක් බවද කීය.

“මට හැම දෙයක්ම අකුරට සාර්ථකව කරන්න කාලයක් නැහැ. ඒ නිසා මේවායින් අෑත් වෙන්න මම උත්සාහගත්තත්, හැම කෙනාම කියන්නේ පිළිගත් පාසලක පරිපාලකයෙක් තනතුරකට පත්වීම එම ක්‍රීඩාවේ දියුණුවට බලපානවා කියලා”

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සභාපතිත්වයට හා ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිත්වයට පත්වූයේ ක්‍රීඩාව ගොඩගැනීමට මිස එයින් වාසි අත්කරගැනීමට නොවන බවද ඔහුගේ අදහස විය.

“මම කිසි දිනක ඔය ලැබෙන දීමනා භුක්ති විඳලා නැහැ. අඩුම ගණනේ මම ඔය ක්‍රීඩා දෙකෙන් ලැබෙන විදේශ සංචාරයක්වත් ගිහින් නැහැ. මම හැමදෙයක්ම කරන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කියලා දන්න නිසා තමයි මාව තනතුරු සඳහා යෝජනා කරන්නේ” යනුවෙන්ද පාසල් ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වෙනුවෙන් ඉදිරියේදී යම් වැඩපිළිවෙළක් සකසා ඇත්ද යන්නට පිළිතුරු දුන් ලියනගමගේ මහතා පැවැසුවේ පාසල් ක්‍රිකට් දරුවන්ගේ කුසලතා වර්ධනය කරගැනීම සඳහා අවුරුදු 19න් පහළ පළමු කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා මුදලින් රුපියල් ලක්‍ෂ 10ක් හා අනුශූරතාව සඳහා ලක්‍ෂ හතහමාරක් ලබාදීමට තීරණයක් කර ඇති බවය.

තවද ක්‍රිකට් භාර ආචාර්යවරුන්ට යම් දීමනාවක් ලබා දීමටත්, උතුරු, නැගෙනහිර ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් දියත් කිරීමටත්, අවුරුදු 15න්, 17න් හා 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරාගැනීමේදී හිතවත්කම් සඳහා ‍ෙදාර විවෘත වූ කාලය අවසන් බවත්, දක්‍ෂයන් පමණක් ඇතුළත්වීමට මාර්ගය සකසා ඇති බවත් ලියනගමගේ මහතා අවසන් වශයෙන් සඳහන් කළේය.