පාපන්දුවේ පෙරළියෙන් සුපුරුදු මුහුණු හැලේ; නව මුහුණු එකතු වේ

767

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2022 කටාර් FIFA පාපන්දු ලෝක කුසලානයේ සහ 2023 AFC ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ තේරීම් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 31 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු පුහුණු සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කර ඇත.

31 දෙනෙකුගෙන් යුත් පාපන්දු සංචිතය නම් කරයි

2021 වසරේ කටාර් හිදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ….

තරගාවලි දෙකෙහිම තේරීම් තරගාවලි, එක් තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර අදියර දෙකකින් යුතු එම තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මැකාවු කණ්ඩායම සමඟ තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් වෙනස්කම් රාශියක් සිදු කරමින් මෙම සංචිතය නම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලාඕසයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරගයට සහ මැකාවු සමඟ පැවැත්වෙන තරග දෙකට සහභාගී වීමේ අරමුණින් කටාර් රාජ්‍ය කරා පිටව යාමට නියමිතය.

වෙනස් නොවූ ස්ථාන

SAFF පාපන්දු ශූරතාවය සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් 2018 වසරේ සැප්තැම්බර් මස සහභාගී වූ අතර එයින් මෙවර සංචිතය සඳහා රඳවා ගෙන ඇත්තේ ක්‍රීඩකයින් නව දෙනෙකු (09) පමණි.

එම ක්‍රීඩකයින් නවදෙනා වන්නේ කවිඳු ඉෂාන්, හර්ෂ ප්‍රනාන්දු, සුජාන් පෙරේරා, චරිත රත්නායක, මොහොමඩ් ෆසාල්, ඩක්සන් පියුස්ලාස්, සසංක දිල්හාර, මරියතාස් නිතර්ශන් සහ ජූඩ් සුමන් ය. ඔවුන් සියලු දෙනාම නිමාවූ ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සහ 2018 FA කුසලාන පාපන්දු තරගාවලියේදී ඉහළ දස්කම් දැක්වීමට සමත් විය.

ඉවත් වූ ක්‍රීඩකයින්

ක්‍රීඩකයින් තිදෙනෙක් දිගු කාලීන ආබාධ නිසා සංචිතයෙන් ඉවත් කර තිබේ.මොහොමඩ් රිෆ්නාස්, අෆිල් මොහොමඩ් සහ අසේල මදුශාන් එම ක්‍රීඩකයන් වේ.

වඩා වැදගත්ම ඉවත් කිරීම නම් අවසන් ජාත්‍යන්තර තරග පහේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ සුබාෂ් මදුශාන් කණ්ඩායමෙන් ඉවත් කර තිබීමයි.ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ගැටළු රැසක් මතු වූ අතර එම නිසා ඔහු කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.

අනෙකුත් සැලකිය යුතු ඉවත් කිරීම් නම් සර්වාන් ජොහාර්, කවීෂ් ප්‍රනාන්දු, දනුෂ්ක රාජපක්ෂ, අසිකුර් රහුමාන්, බණ්ඩාර වරකාගොඩ, සජිත් කුමාර සහ දිලාන් කෞශල්‍ය යි.ඔවුන් සියලු දෙනාම පසුගිය (2018) ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය පුරාවටම සිය කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩාකළ ක්‍රීඩකයින් වේ.

සජිත් කුමාර සහ දිලාන් කෞශල්‍ය තරගාවලිය පුරාවට වළලුකර ආබාධ නිසා පීඩා විඳීමට සිදුවූ අතර අනෙකුත් ඉවත් කිරීම් වලට හේතුව අයහපත් ශාරීරික යෝග්‍යතාව සහ අයහපත් ක්‍රීඩා විලාසයයි.

පසුගිය තරග වාරයේදී ඉතා හොඳින් ක්‍රීඩාකළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට සහ වයස අවුරුදු 23න් පහළ ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ සිටි ක්‍රීඩකයින් රැසකට ද කණ්ඩායමේ වරම් අහිමිව ගොස් තිබේ.

නිරාන් කනිෂ්ක, චමෝද් දිල්ශාන්, මොහොමඩ් අස්මීර්, දනුෂ්ක මදුශංක, චතුරංග සංජීව, මහේන්ද්‍රන් දිනේෂ්, දනුෂ පෙරේරා, අමාන් ෆයිසර්, ධනංජය ලක්ෂාන් සහ රිෆ්කාන් මොහොමඩ් එසේ වරම් අහිමි වූ ක්‍රීඩකයින් වේ.

නව ක්‍රීඩකයන් රැසක් සංචිතයට

නව ක්‍රීඩකයින් 22 දෙනෙකු සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. එම ක්‍රීඩකයින් තුළට 2020 AFC ආසියානු වයස අවුරුදු 23න් පහළ ශූරතාවයේ තේරීම් තරග වලට සහභාගී වූ ක්‍රීඩකයින් සිව් දෙනෙක්ද ඇතුළත් ය. ශබීර් රසූන්යා, රාසික් රිෂාඩ්, පැතුම් විමුක්ති සහ සුන්දරාජ් නිරේෂ් එම ක්‍රීඩකයින්.  

සංචිතයට ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් හත්දෙනෙක් ඇතුළු වීම තවත් විශේෂත්වයකි. මොහොමඩ් මුස්තාක් (නිව් ස්ටාර්), මොහොමඩ් ඉජාස් සහ මොහොමඩ් වසීත් (යුධ හමුදා), අබ්දුල් රහුමාන් ඉසඩින් (බන්ධනාගාර), සිදතුරයි සහයරාජා (ශාන්ත ලුසියා), සෙබස්තියම්පිල්ලයි ජේසුතසන් (ගුවන් හමුදා) සහ හැමිල්ටන් මර්වින් (ඊස්ට්බෝර්න් බොරෝ – එංගලන්තය) එම ක්‍රීඩකයින් වේ.

AFC වයස අවුරුදු 23 න් පහළ තේරීම් තරගාවලියේ සංචිතයෙන් ඉවත් කර තිබූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම නව සංචිතයට කැඳවා තිබේ. දිලිප් පීරිස්, නවීන් ජූඩ් සහ මොහොමඩ් ආකිබ් එම ක්‍රීඩකයින් වේ. ඔවුන් සියලු දෙනා පසුගිය තරගවාරයේ ඉතා හොඳින් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ය.

ශ්‍රී ලංකාවේ පාපන්දුවට නව සහය පුහුණුකරුවෙක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තේරීම් තරග සහ 2019 දකුණු ආසියානු තරගාවලියේ….

මොහොමඩ් ශහීල් (සී හෝක්ස්) සහ මොහොමඩ් ලුත්ෆි කණ්ඩායමට තෝරා ගැනීම ඉතා හොඳ වන්නේ ඔවුන් පසුගිය දිනවල හොඳ ක්‍රීඩා රටාවක සිටින බැවිනි. මොහොමඩ් ලුත්ෆි FA කුසලානයේ සහ ශූරයින්ගේ කුසලානයේ යන තරගාවලි දෙකෙහිම රන් අත්වැසුම දිනා ගැනීමට සමත් විය.

ක්‍රීඩකයින් 31 දෙනෙකුගෙන් සමන්විත මෙවර ශ්‍රී ලංකා පාපන්දු සංචිතය එළඹෙන මැයි මස 12 වනදා සිට 25 වනදා දක්වා කටාර් හිදී පුහුණුවීම් සිදුකරනු ඇත. අනතුරුව ඔවුන් මැයි මස 28 වනදා සිට මැයි මස 31 වනදා දක්වා ලාඕසයේදී සුහද තරග දෙකකට සහභාගී වන අතර තෝරාගත් ක්‍රීඩකයින් 23 දෙනාගේ කණ්ඩායම ලෝක කුසලාන තේරීම් තරගාවලිය ආරම්භ කිරීම සඳහා ජූනි 06 වනදා මැකාවු සමඟ තරග වදිනු ඇත.


>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<