අයර්ලන්ත පරාජයෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්

අයර්ලන්ත කණ්ඩායමේ නෙදර්ලන්ත සංචාරය 2021

163
Koninklijke Nederlandse Cricket Bond (KNCB) Facebook

ICC පිරිමි ලෝක කුසලාන සුපර් ලීගයේ තවත් එක්දින තරගාවලියක් ඊයේ (2) ආරම්භ වුනා. නෙදර්ලන්තය සහ අයර්ලන්තය අතර Utrecht හිදී පැවැත්වූ එම තරගයෙන් සත්කාරක නෙදර්ලන්තය එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව වසර 14කට පසුව අයර්ලන්ත කණ්ඩායමක් හමුවේ එක්දින තරගයක් ජය ගත් නෙදර්ලන්තය ICC පිරිමි ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරගයම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 10ක් දිනා ගැනීමට සමත් වුනා. ඒ නිසාවෙන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා පසුපසට යාමට  ශ්‍රී ලංකාවට සිදු වුනා.

කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී ඔවුන් විසින් සිය නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 195ක් ලබා ගත්තා. 

නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් Timm van der Gugten පසුපෙළ සවිමත් කරමින් අගනා ලකුණු 49ක් ලබා ගත්තේ පන්දු 53ක් පමණක් වැය කරමිනි. 4 පහරකින් සහ 6 පහර 4කින් වර්ණවත් වුනු ඔහුගේ එම සටන්කාමී ඉනිම නිසා ලකුණු 102/7ක් ලෙස සටහන් වුනු නෙදර්ලන්ත ලකුණු සටහන ලකුණු 195ක් වැනි මට්ටමකට රැගෙන ඒමට ඔවුන්ට හැකියාව ලැබුණා. Logan van Beek ලකුණු 29යි.

පන්දු යැවීමේ දී Josh Little සහ Craig Young යන වමත් සහ දකුණත් වේගපන්දු යවන්නන් දෙදෙනා කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් පෙන්නුවා.

තවත් ක්‍රිකට් පුවත්:

පිළිතුරු ඉනිම දියත් කළ ටෙස්ට් වරම් ද තිබෙන අයර්ලන්තයට පන්දුවාර 9 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි. ඔවුන්ගේ ඉනිම ආරම්භයේ දී වැඩි වාසිය නෙදර්ලන්තය සතු වුනත්, Paul Stirling සහ මැදපෙළ පිතිකරු Simi Singh පිළිවෙළින් ලබා ගත් ලකුණු 69 සහ ලකුණු 45 නිසාවෙන් අයර්ලන්තය දෙසට තරගයේ වැඩි වාසිය හිමි වුනා. එහි දී සිය එක්දින ක්‍රිකට් දිවියේ 25 වැනි අර්ධ ශතකය ලබා ගත් Stirlingගේ ඉනිමට 4 පහර 8ක් ඇතුළත් වුනා.

කෙසේ නමුත් නෙදර්ලන්ත නායක Pieter Seelaar 47 වැනි පන්දුවාරයේ දී Andy McBrineගේ සහ Barry McCarthyගේ කඩුලු 2 දවා ගනිමින් අයර්ලන්තය අසීරු මට්ටමකට ඇද දැමුවේ තරගයේ උණුසුම තව තවත් වැඩි කරමින් වන අතර අවසානයේ දී එක් ලකුණක තියුණු ජයක් වෙත සිය කණ්ඩායම මෙහෙය වීමට Pieter Seelaar හට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන නායක Seelaar ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා. නෙදර්ලන්තය වෙනුවෙන් ලකුණු 49ක් සහ කඩුල්ලක් දවා ගනිමින් දස්කම් දැක්වූ Timm van der Gugten තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

නෙදර්ලන්තය – 195 (50): Timm van der Gugten 49, Logan van Beek 29, Josh Little 3/32, Craig Young 3/34.

අයර්ලන්තය – 194/9 (50): Paul Stirling 69, Simi Singh 45, Pieter Seelaar 3/27.

තරගයේ වීරයා – Timm van der Gugten (නෙදර්ලන්තය)

ICC පිරිමි ලෝක කුසලාන සුපර් ලීගයේ  ප්‍රසාද ලකුණු සටහන, (2021.06.02 වන විට)

  1. බංග්ලාදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
  2. එංගලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  3. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. ඕස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ගනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29 (එක් දඬුවම් ලකුණක්)
  9. නෙදර්ලන්තය : තරග 1 – ප්‍රසාද ලකුණු 10
  10. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  11. අයර්ලන්තය : තරග 7 – ප්‍රසාද ලකුණු 10
  12. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9 (එක් දඬුවම් ලකුණක්)
  13. ශ්‍රී ලංකාව : තරග 6 – ප්‍රසාද ලකුණු 8 (දඬුවම් ලකුණු 2ක්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<