උහනට සැණකෙළි ගෙන දුන් තිස්සපුර ක්‍රීඩිකාවෝ

628

පසුගිය දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමා වූ 20 වැනි DSI Super Sports පාසල් වොලිබෝල් තරගාවලියේ දී සුපිරි දක්ෂතා දැක්වීමට අම්පාර, උහන තිස්සපුර ක්‍රීඩිකාවෝ සමත් වුනා.

එහි දී ඔවුන් වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ බාලිකා ශූරතා දිනා ගන්නා ලද අතර 17න් පහළ බාලිකා අනුශූරතාව ද ඔවුන් විසින් දිනා ගන්නවා. ඊට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වන්නේ ද තිස්සපුර විද්‍යාලයීය 19න් පහළ කණ්ඩායමේ චතුරි පූර්ණිමා.

ලැබූ මේ ජයග්‍රහණය අපි විශාල පිරිසකගේ සාමූහික ප්‍රයත්නයක් ලෙසයි මම දකින්නේ. ඒ ගැන ගොඩාක් සතුටුයි. විශේෂයෙන් ම පුහුණුකරු ලෙසින් කටයුතු කරන ඉන්දික පුෂ්පකුමාර, සහාය පුහුණුකරු මංජුල නිරෝෂන් යන අයත්, ක්‍රීඩා භාර ආචාරිණි සුභානි නිරෝෂිකා සිරිවර්ධනත් මේ වෙනුවෙන් විශාල වෙහෙසක් දැරුවා. ඔවුන්ගේ පෞද්ගලික කාලයන් පවා මේ වෙනුවෙන් වැය කළා.

තරගවලට සහභාගී වූ දරුවන් ද විශාල කැප කිරීම් කරමින් පුහුණුවීම්වලට පැමිණියා. ඔවුන්ගේ එක ම බලාපොරොත්තුව වුනේ තරග ජයග්‍රහණය කරමින් විද්‍යාලයට කීර්තියක් අත් කර දෙන්න. ඒක ඔවුන් කළා. ඒ ගැන ගොඩක් සතුටුයි,” උහන තිස්සපුර විද්‍යාලයීය වත්මන් විදුහල්පති පී. ජී. සරත් මහතා ThePapare.com සමඟ පැවසුවා.

ළමුන් 255 දෙනෙක්ගෙන් සමන්විත තිස්සපුර විද්‍යාලය ලැබූ මේ ජයග්‍රහණය උහනට පමණක් නොවේ, අම්පාර දිස්ත්‍රික්කයට ද විශාල කීර්තියක් සහ ආඩම්බරයට හේතුවක්. එබැවින් ම තිස්සපුර දරුවන්ගේ දක්ෂතා ගැන විශ්වාසය තබන විශාල පිරිසක් පාසල වටා එක් ව සිටින බවයි විදුහල්පති සරත් මහතා ප්‍රකාශ කළේ.

ඔවුන්ගේ සහයෝගය අපිට අති විශාල ශක්තියක්. මේ අය අතර අම්පාර ප්‍රදේශයේ මෙන් ම විදෙස්ගත කිහිප දෙනෙක් ද විවිධ ආයතන ද සිටිනවා. ඒ වගේ ම පාසලේ සෑම දරුවෙක්ගේ දෙමාපියන් ද මොවුන් වටා එක් වී සිටිනවා. ඔවුන් අපිට හැකි සෑම ආකාරයකින් ම උපකාර කරනවා. උදව් කරනවා. මේ ජයග්‍රහණ ඔවුන්ගේ පරිත්‍යාගයන්ට කරනු ලැබූ කෘතගුණ සැලකීමක් ලෙසින් ද සැලකෙනවා,” විදුහල්පති පී. ජී. සරත් මහතා අප වෙත වැඩි දුරටත් පැවසුවා.

තිස්සපුර විද්‍යාලයේ ආරම්භය හා ව්‍යාප්තිය

දිගාමඬුලු පුරවරයේ උතුරු වැව්ගම් පත්තුවේ, උහන තිස්සපුර ග්‍රාමය කලඑලි වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමය වූ ගල්ඔය ව්‍යාපාරය නිසයි.

එදා ඉඟිනියගල දී සුවිසල් කඳු දෙකක් යා කර තැනූ සේනානායක සමුද්‍රය මුල් කර ගනිමින් මේ මහා ව්‍යාපාරය බිහි වෙද්දී, උහන – තිස්සපුර විද්‍යාලයේ ප්‍රසූතිය ද සිදු වුනා.

ගල්ඔය නිම්නයේ වූ මේ මහා පෙරළියත් සමඟින් එළි-පෙහෙළි වූ කතාන්දර අතරට නව ජනපද, නව මංමාවත්, වැව් අමුණු, කර්මාන්ත ශාලා හා රැකි-රක්ෂා වැනි දේ එක් වූවත්  තිස්සපුර විද්‍යාලය මාතෘකාවක් වූයේ ම නැහැ. එය ඒ තරමට ම ඉවත ලා තිබුණේ.

අතිදුෂ්කර ලේබලය යටතේ වූ පාසලට ඇතැම් ගුරුවරුන් පැමිණියේ ද රස්සාව බේරා ගැනීමට මිස අධ්‍යාපනයෙන් ප්‍රදේශයේ දරුවන් පෝෂණය කරන්නට නොවේ. එහි ඉගනුම් ලැබූ දරුවෝ ද නිසි අධ්‍යාපනයට යොමු වූ බවට වන සාක්ෂියක් නැහැ.

එදිනෙදා කුලියක් කරමින් ජීවත් වූ ඔවුන්ගේ දෙමාපියන්ට ද මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන මෙලෝ වැටහීමක් හෝ එහි අගයක් ගැන දැන සිටියේ නැහැ. එබැවින් යම්තම් කරදඬු උස් මහත්වන දරුවෝ අඩු වයසේ දී ම කැත්ත උදැල්ලට හුරුවීම වැළැක්විය නොහැකි වූවා.

එසේ වූ පාසලක් දශක 7කට පසු කාගේත් කතාබහට ලක් වූ පාසලක් බවට පත් කිරීමට චමින්ද උදය කුමාර නැමති විදුහල්පතිවරයා සමත් වෙනවා. ඒ මහතා තිස්සපුරට පැමිණෙන විට මෙහි පැවතී ඇත්තේ 60-70 දශකයේ තත්ත්වයමයි.

තිස්සපුර විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩාවේ ආරම්භය

තිස්සපුර විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩාවේ ආරම්භකයා ලෙසින් ද සැලකෙන හිටපු විදුහල්පති චමින්ද උදය කුමාර මහතා මෙහි පැමිණෙන විට දරුවන්ගේ අධ්‍යාපනය කෙසේ වෙතත් රස්තියාදුව එහි පළමු කාර්ය බවට පත්ව තිබුණේ ලු. පංති කාමරයක දරුවෙක් රඳවා ගැනීම අතිශය අපහසු කාර්යක් වූවේ ලු. ගමේ අවට පරිසරය ද ඊට ම ආවේණික ව හැඩ ගැසී තිබුණේ ලු.

මේ තත්ත්වය වෙනස් කිරීම අරමුණු කර ගනිමින් උදය කුමාර මහතාගේ පළමු සැලසුම වී ඇත්තේ අවට රස්තියාදු පරිසරයෙන් ළමුන් මුදවා ගනිමින් පාසල වෙත ම අවධානය යොමු කිරීමයි. ඒ අනුව ඔහු  2014 වසර මැද දී වොලිබෝල් ක්‍රීඩාව පාසලේ ළමුන් සහභාගී විය යුතු අනිවාර්ය ක්‍රීඩාවක් බවට පත් කරනවා.

ආරම්භය තරමක් ප්‍රශ්නකාරී වූවද වෙනදා පාසල් කාලයේත් ඊට පසුවත් රස්තියාදුවේ ගැසූ ළමුන් ඉන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් වොලිබෝල් ක්‍රීඩාව සමඟ එක් වෙනවා. ඒ එක්වීම කෙතරම් සාර්ථක වී ද යත්, 2016 වසරේ DSI Super Sports පාසල් වොලිබෝල් තරගාවලියේ 14න් පහළ බාලිකා ශූරතාව දිනා ගැනීමට තිස්සපුර විද්‍යාලය සමත් වෙනවා. එය තිස්සපුර ඉතිහාසයේ ලැබූ පළමු සමස්ත ලංකා ජයග්‍රහණයයි.

මේ ජයග්‍රහණයට මඟ පෑදෙන්නේ විදුහල්පති උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි තිස්සපුර වොලිබෝල් පුහුණුකරු ඉන්දික පුෂ්පකුමාර මහතාගේ මනා මඟ පෙන්වීම හේතුවෙන්. සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නියුතු ඉන්දික උහන කුමාරිගම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර වොලිබෝල්, කරතේ සහ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ද නිපුණයෙක්.

වොලිබෝල් ක්‍රීඩාවෙන් විශිෂ්ට ව්‍යවහාර සම්මානයට

මේ අලුත් පිබිදීමත් සමඟින් තිස්සපුර විද්‍යාලය 2017 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමිති හා කළමනාකරණ ඒකකය  සංවිධානය කළ විශිෂ්ට ව්‍යවහාර සම්මාන වැඩසටහනේ දී “විශිෂ්ට ව්‍යවහාර සම්මානය” දිනා ගැනීමට ද සමත් වෙනවා.

විවේකය ඵලදායි ලෙස ගත කිරීම මඟින් පාසල තුළ විනයගරුක සිසු පිරිසක් බිහිකිරීමටත්, එහි අතුරු ඵලයක් ලෙස සමස්ත ලංකා මට්ටමේ වොලිබෝල් ශූරතා රැසක් දිනා ගැනීමට විද්‍යාලයේ සිසු සිසුවියන්ට හැකි වීමත්” ඊට හේතු ලෙස දැක්වෙනවා.

මේ ජයග්‍රහණත් සමඟින් තිස්සපුර සිසු දරුවන්ගේ දෙමාපියන් ද පාසල වටා එක් වෙන්නේ පෙර නොවූ විරූ ලෙසින්. ඔවුන් ද දරුවන්ගේ ඕනෑඑපාකම් සොයා බලමින් වෙනදාට වඩා අධ්‍යාපනයේ මෙන් ම ක්‍රීඩාවේ ද ගුණා-ගුණ සමඟ එක් වීමට පෙලඹෙනවා, සොයා බැලීම් සිදු කරනවා. ඊට තිස්සපුර ග්‍රාමය ම එක් වීම විශේෂයි. තරගයකට යෑමේ දී හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතාවයක දී ගෙයින් ගෙට යමින් මුදල් එකතු කර ගනිමින් අඩු-පාඩු පිරිමසා ගැනීමට ද ඔවුන් පසු බසින්නේ නැහැ.

මේ එවන් ගමනක ගෙවී යන 8 වැනි වසරයි.

දුෂ්කරතා මඟ හැර ලැබූ දක්ෂතා

2016 වසරේ වයස අවුරුදු 14න් පහළ බාලිකා ශූරතාව තිස්සපුර විද්‍යාලයට හිමි වූවාට පසුව 2017 වසරේ දී සමස්ත ලංකා ශූරතා ත්‍රිත්වයක් ද, 2018 වසරේ දී ශූරතා 6ක් ද, 2019 වසරේ දී DSI Super Sports 11න් පහළ, 13න් පහළ සහ 15න් පහළ ශූරතා ත්‍රිත්වය ද සමඟින් ශූරතා 7ක් ද දිනා ගැනීමට තිස්සපුර විද්‍යාලය සමත් වෙනවා.

එම දක්ෂතාවන් වඩාත් වැදගත් වන්නේ සුපිරි පාසල් පවා අභිබවා යමින් පෑ මේ විරුකම්ය. ඉතා කුඩා පාසලක ඉතිහාස කතාවක වර්ණවත් පරිච්ඡේද ලෙසින් ඒ ජයග්‍රහණ සියල්ල ගත හැකි. ඊටත් වඩා කාලයක් තිස්සේ නොසලකා හැරි පාසලක ඉතිහාස කතාව මේ ලෙසින් වර්ණ ගැන්වේ යැයි එදා කිසිවෙකුත් සිතන්නට නැහැ.

මේ එතැන් සිට කතාවයි..,

  • තරගාවලිය : 20 වැනි DSI Super Sports පාසල් වොලිබෝල් තරගාවලිය 2022
  • ස්ථානය: සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය, කොළඹ.

වයස අවුරුදු 15න් පහළ බාලිකා

හුංගම විජයබා ජාතික පාසල සමඟ පැවති අවසන් තරගයේ දී තරග වට 3-0ක් ලෙසින් පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට තිස්සපුර ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඔවුන් තරගය අවසන් කරන්නේ 25/6ක්, 25/6ක් සහ 25/16ක් ලෙසයි.

ඉන් නොනවතින ඔවුන් එම කාණ්ඩයේ සියලු කුසලාන ද දිනා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව එම වයස් කාණ්ඩයේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස ජිනේෂි මධුමාලි, දක්ෂතම ප්‍රහාරිකාව ලෙස හර්ෂනී නිසංසලා සහ දක්ෂතම ක්‍රීඩිකාව සුලක්ෂනා පසිඳුනි සම්මාන දිනා ගන්නවා.

වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම: සුලක්ෂණා පසිඳුනි, රන්දිමා සෙව්වන්දි, ජිනේෂි මධුමාලි, කවීෂා දක්ෂිකා, කුෂානි හසරංගිකා, හර්ෂනී නිසංසලා, රෂ්මි ලක්මිණි, චංචලා ජයතුංග, පබලුෂා සත්සරණි, ඩබ්ලිව්. එම්. හෂිනි

වයස අවුරුදු 19න් පහළ බාලිකා

පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා. පැවති පළමු වටයේ දී ලකුණු 25/22ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ප්‍රතිවාදී ගන්කන්ද ක්‍රීඩිකාවෝ සමත් වූව ද, ඉන් අනතුරුව පැවති තරග වටවල දී 25/17ක්, 25/18ක් සහ 25/13ක් ලෙස ජයග්‍රහණය කරමින් 3-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තිස්සපුර ක්‍රීඩිකාවෝ සමත් වුනා.

එම වයස් කාණ්ඩයේ ද සම්මාන මේසය ම දිනා ගැනීමට ඔවුන්ට හැකි වුනා. ඒ අනුව දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස කසුනි කල්හාරි ද, දක්ෂතම ප්‍රහාරිකාව ලෙස සත්‍යා සෙව්වන්දි ද සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මෙන් ම වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද චතුරි පූර්ණිමා ද සම්මාන ලබා ගත්තා.

වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: චතුරි පූර්ණිමා, කසුනි කල්හාරි, නිෂාධි කාව්‍යා, දිවාංජලී පංචාලිකා, එස්. ඒ. කේ. මධුෂානි, උමේෂා සෙව්මිණි, සත්‍යා සෙව්වන්දි

වයස අවුරුදු 17න් පහළ බාලිකා

හුංගම විජයබා ජාතික පාසල සමඟ පැවති අවසන් මහා තරගයේ දී තිස්සපුර ක්‍රීඩිකාවන්ට 1-3ක පරාජයක් විඳීමට සිදු වෙනවා. වට 4ක් දක්වා ගිය ගමනේ දී ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ 25/21ක් ලෙසින් වූ දෙවැනි වටය පමණයි. අනෙක් වට නිමා වෙන්නේ 25/15ක්, 27/25ක් සහ 25/19ක් ලෙසින් ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය හිමි කර දෙමින්.

කෙසේ වෙතත් තිස්සපුර විද්‍යාලයේ සමාරා නිෂාදි දක්ෂතම ප්‍රහාරිකාව ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වෙනවා.

වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම: තරුෂි ධනංජනී, සමාරා නිෂාධි, සුභාෂිණී මධුශානි, හිමාෂි දෙව්මිනි සිල්වා, එන්දි උපේක්ෂා, නෙත්මි ධනංජනී, මයුරි සෙව්වන්දි

ගල්ඔය මිටියාවතේ තැන තැන සැඟව ඇති කතාන්දර අතරට තිස්සපුර දරුවන්ගේ කතාන්දරය ද හෙට දවසේ දී මීටත් වඩා වර්ණවත් ව ජනගත වෙනු ඇතැයි අපගේ විශ්වාසයයි. ඔවුන්ගේ ශක්තිය, නොපසුබස්නා උත්සාහය සහ කැපවීම නොවන්නට මේ ගමනේ මෙවන් පරිච්ඡේදයක් ලියැවෙන්නේ නැහැ.

ඔවුන්ගේ හෙට දවස මීට වඩා වර්ණවත් වීමට නම් ඔවුන් වෙත මීට වඩා යමක් සමාජයෙන් සේ ම වගකිව යුත්තන්ගෙන් ලැබිය යුතුයි.

ගොවි ජනපදයක් බැබළ වූ තිස්සපුර දරුවන්ගේ මේ වොලිබෝල් දක්ෂතාවන්ට Thepapare.com හී උණුසුම් සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<