පාසල් වොලිබෝල් පිටිය කැලඹූ උහන අක්කා – නගෝ

3265

සේනානායක සමුද්‍රයේ සිසිලස අරගත් සුළඟ, ගල්ඔය මිටියාවත හරහා උහනට හමා එද්දී එහි කිසිදු තෙතමනයක් ඉතිරි වෙන්නෙ නැහැ. ඒ නිසා ම, උහනට ඉහළින් පායන සූර්ය කිරණ පොළොවට පතිත වන්නේ කර්කෂ පරිසරයක් උත්පාදනය කරමින්.

එසේ වූවත් ඒ දුඹුරු පැහැ ගැන් වූ රළු ගල් බොරළු අස්සේ ද පැළ රෝපණය වෙමින් මල් පීදෙනවා. රටක් සුවඳවත් කිරීමට තරම් සරු වූ ඒ බිම, බොහෝ පිංසාරය. එවන් පරිසරයක හැඳී වැඩුණ මල් කැකුළු දෙකකි, අම්පාර, උහන තිස්සපුර විද්‍යාලයේ චතුරි පූර්ණිමා අබේරත්න සහ සුලක්ෂනා පසිඳුනි අබේරත්න.

පසුගිය දා කොළඹ වෙළඳ අගනගරයේ දී නිමා වූ 20 වැනි DSI Super Sports පාසල් වොලිබෝල් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සහ වයස අවුරුදු 19න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට චතුරි පූර්ණිමා අබේරත්න සමත් වෙද්දී, එම තරගාවලියේ ම වයස අවුරුදු 15න් පහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වීමට ඇයගේ සොහොයුරිය වූ සුලක්ෂනා පසිඳුනි අබේරත්න සමත් වුනා.

ලොකු දෝනිටත්, පොඩි දෝනිටත් ලැබූ මේ අගය කිරීම විශාල ශක්තියක්. සතුටුයි එක ම තරගයේ දී දෙන්නට ම සම්මාන ලැබීම ගැන. අපි බොහොම අමාරුවෙන් ආපු ගමනක් මේක. මේ ජයග්‍රහණ පිටුපස බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සෑම කෙනෙක්ට ම ස්තුතිවන්ත වෙනවා,” මේ රටක් දිනූ දරු දෙදෙනාගේ පියා වූ ඩී. එච්. එම්. අබේරත්න මහතා ThePapare.com සමඟ කතාබහට එක් වූ අයුරුයි.

අබේරත්නලා ගල්ඔය ජනපදය හා එක්වූ දෙවැනි පරම්පරාව. 1953 වසරේ ගල්ඔය ව්‍යාපාරය ඇරඹෙද්දී අබේරත්නලාගේ මව්පියන් මෙහි පදිංචියට පිවිසෙනවා. ඒ පදිංචිය අද ඔවුන් මෙහි ස්ථීර පදිංචිකරුවන් බවට පත් කරලා.

ජීවිතය ගොඩනගා ගන්න විශාල ලෙස මහන්සි වෙන්න වුනා. අදටත් ඒ මහන්සියේ ඉවරයක් නෑ. ආර්ථික අපහසුතා මෙච්චරයි කියල ප්‍රමාණයෙන් කියන්න බැහැ. අව්වට වේළුණා – වැස්සට තෙමුණා. ඒ ජීවත් වෙන්න අවශ්‍ය, අවශ්‍යතා සපුරා ගන්න ඕන නිසා. අද අපේ දරුවෝ ඒ අව්වෙ- වැස්සේ ම ක්‍රීඩාව ජයගන්න මහන්සි වෙනවා.”

අබේරත්නගේ පාසල වූයේ ද මේ තිස්සපුර විද්‍යාලයයි. එහි 1985 වසරේ ක්‍රීඩා නායකයා වෙන්නේ ද අබේරත්න.

ඒ දවස්වල තිබුණ හැම ක්‍රීඩාවක් ම කළා. 1982/83 වසරවල පළාත් තරගවලටත් ගියා. එතැනින් එහාට යන්න අපිට හැකියාවක් තිබුනත්, සුදුසුකම් ලබා ගත්තත් තරගවලට සහභාගී වෙන්න තරම් වත්කමක් තිබුණේ නැහැ. අපි ඉතිං ඒ දවස්වල ඒ ගැන එච්චර හිතුවෙත් නැහැ. හිතේ එක ම බලාපොරොත්තුව තිබුණේ අම්මට තාත්තට කරදරයක් නොදී ජීවත් වෙන්නේ කොහොම ද කියලා,” අබේරත්න පවසනවා.

ඒ අනුව අබේරත්න පාසලෙන් ඉවත් වූ වහා ම ශ්‍රී ලංකා යුද හමුදාව හා එක් වෙනවා. 1986 වසරේ දී යුද හමුදා සේවයට එක් වෙන අබේරත්න වසර 22ක සේවයෙන් පසුව 2008 වසරේ දී ඉන් ඉවත් වෙනවා.

අම්මටත් තාත්තටත් පුළුවන් විදිහට සලකගෙන හිටියා. දැන් වත්තෙ පිටියෙ වැඩක් බලාගෙන ඉන්නවා. කාලයක් දරුවන් එක්ක ඉන්න බැරි වුනා. දැන් එහෙම නැහැ. ඔවුන් එක්ක දවස ගෙවන්න පුළුවන්. ඒ තරම් වටින දෙයක් තවත් තියෙනවා ද?”

මේ ආදරණීය තාත්තාට දරුවන් තිදෙනෙක් සිටිනවා. ඉන් වැඩිමල් දෙදෙනා චතුරි සහ සුලක්ෂනා. අපේ කතානායිකාවන්. ඔවුන්ගේ පවුලේ බඩ පිස්සා මහරු මතීෂ අබේරත්න. තිස්සපුර විද්‍යාලයේ ම 6 ශ්‍රේණියේ ඉගනුම ලබනවා.

දරුවන් තුන් දෙනාට ම එක වගේ ක්‍රීඩාව පිහිටලා තියෙනවා. ඒත් ඉතිං දෙන්නෙක් ම ක්‍රීඩා කරන නිසා පුතා ඉගෙනීමේ පැත්තට යොමු කළා. ඒ යොමු කිරීමත් සමඟ එයා ගොඩාක් ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වුනා. සමහර විට පුතා ඒ පැත්තෙන් යමක් කර ගනීවි.”

මේ සියලු දෙනාගේ ඕනෑ එපාකම් වෙනුවෙන් වැඩි මෙහෙවරක් කරන්නේ මව, වසන්තා කුමාරි. ගෘහණියක් සේ ම ගෙවිලියක් ලෙසින් ඇය තම දරුවන්ගේ මෙන් ම නිවසේ අවශ්‍යතා වෙනුවෙන් ද නොපිරිහෙලා තම වගකීම් ඉටු කරනවා.

ඔවුන්ගේ කුටුම්භයේ පළමු වගවීම දරුවන්ගේ ක්‍රීඩාව.

අබේරත්න පවුලෙන් පළමුවෙන් ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වන්නේ ලොකු දූ චතුරි පූර්ණිමා. තෙවැනි පංතියේ සිටිය දී ඇය තිස්සපුර විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 පළමු ස්ථානයත්, දුර පැනීමේ ඉසව්වේ දෙවැනි ස්ථානයත් සහ මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ පළමු ස්ථානයත් දිනා ගන්නවා. ඒ ඇය සහභාගී වූ පළමු ක්‍රීඩා තරගාවලිය.

මේ කිසිදු ජයග්‍රහණයක් ඇය හදාරමින් ලැබූවක් නොවේ. නමුත් ඉන් අනතුරුව චතුරි,  ක්‍රීඩා ජීවිතයේ විශාල පිම්මක් පනිනවා. ඒ 2014 සහ 2015 වසර ද්විත්වයේ දී මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ කලාප තරගාවලියේ දී ලත් දෙවැනි ස්ථානය ලබා ගනිමින්. එම ජයග්‍රහණයත් සමඟින් දිස්ත්‍රික් තරගාවලිය නියෝජනය කිරීමට එම කණ්ඩායම සමත් වූවත් ඊට සහභාගී වීමට තරම් ඔවුන්ට වත්කමක් හෝ දැනුවත් කමක් තිබී නැහැ.

එමෙන් ම මේ කුමන ජයග්‍රහණ ලැබුවත් චතුරිලාගේ ජීවිත තුළ අනාගත බලාපොරොත්තු ලෙස සමස්ත ලංකා ජයග්‍රහණ හෝ ඉන් එහා බලාපොරොත්තු රැඳී තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුනේ තමන් සහභාගී වූ තරගය ජයග්‍රහණය කිරීම පමණයි. ඒ සඳහා අවශ්‍ය නිවැරදි පුහුණුවක් ලබා දීමට හැකි පරිසරයක් හෝ ඔවුන්ට එදා තිබුණේත් නැහැ.

අපිත් ක්‍රීඩාවේ මෙතැනින් එහාට මේ දේ කරන්න ඕන කියන එක ගැන ටිකක් දැනන් සිටියා. ඒ දැනුවත්කම නිසා ම තමයි  අඩු ම තරමින් කලාප තරගවලට හරි සහභාගී වුනේ. ඒත් ඉතිං ඉන් එහාට යමක් කරන්න අපිටවත් පාසලටවත් හැකියාවක් තිබුණේ නැහැ,” අබේරත්න පවසනවා.

මේ තත්ත්වය ගල්ඔය ජනපදවල විසූ සෑම කෙනෙක්ට ම පොදු කාරණයක් වූවා.  ඒ කර්කෂ පොළොවට අභියෝග කරමින් ක්‍රීඩාව නමින් හිස එසවූ බොහෝ අංකුර අකාලයේ මිලිනව යන අයුරු අබේරත්නලාට බලා සිටීමට සිදු වුනා. ඒ දෙස බලා සිට හීල්ලීම පමණයි ඔවුන්ට කළ හැකිව තිබුණේ. ඊට එරෙහිව ගත හැකි පියවරක් ඔවුන් කිසිවෙක්ටත් තිබුණේ නැහැ.

නමුත් උහන පුබුදමින්, තිස්සපුර විද්‍යාලයේ විදුහල්පති ලෙසින් උදය කුමාර මහතා පිවිසෙන්නේ ඒ කාලයේ. ගමේ දරුවන්ගේ අධ්‍යාපනය ගමට ම තල්ලු කර තැබුණ තත්වයක, එම පිම්ම පැනීම ඔහුගේ උත්සාහය වුනා. නමුත් එය සිතූ සේ පහසු වන්නේ නැහැ. එවර ඔහුගේ උත්සාහය වෙනත් මානයකට යොමු වෙමින් ක්‍රීඩාව සමඟ දරුවන් පාසලට ආකර්ෂණය කර ගැනීමේ තත්ත්වයක් කරා යොමු වෙනවා.

ඒ මහත්තයා තමයි අපේ දරුවන්ට දෙවි කෙනෙක් වගේ පිහිටට ආවේ. පාසලේ හැම දරුවෙක් ම වොලිබෝල් ක්‍රීඩාව කළා. වෙනදට පාසල් නොපැමිණි දරුවනුත් පාසල් එන්න ගත්තා. අපේ දරුවන්ගේ වටිනාකම රටට පෙන්නුවේ උදය කුමාර මහත්තයා. ඒකට ගොඩාක් උදව් කළා පුහුණුකරු ඉන්දික පුෂ්පකුමාර මහත්තයා. අදටත් අපේ දරුවෝ ගැන බලන්නේ ඉන්දික මහත්තයා.“

මෙසේ ව්‍යාප්ත වූ තිස්සපුර විද්‍යාලයීය ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන චරිතයක් බවට පත් වීමට චතුරි සමත් වුනා. ඒ විද්‍යාලය 2016 වසරේ දී දිනූ DSI Super Sports පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ බාලිකා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වීමට තරම් දක්ෂතා දැක්වීම හේතුවෙන්.

එතැන් සිට ඇය තමන් සහභාගී සෑම වයස් කාණ්ඩයක ම දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් මේ වසරේ දී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වෙනවා.

ඇයගේ නැගණිය වන සුලක්ෂනා පසිඳුනි අබේරත්න ද ක්‍රීඩාවට පිවිසෙන්නේ චතුරි නිසාමයි. ඇය යන අඩි පාරේ ම යන ඇය වයස අවුරුදු 11න් පහළ, 13න් පහළ සහ මෙවර නිමා වූ වයස අවුරුදු 15න් පහළ තරගාවලිය ද නියෝජනය කරමින් එම වයස් කාණ්ඩවල දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වෙනවා.

දරුවො දෙන්නගෙන් ලොකු දෝනි ක්‍රීඩා කරනවා දැකල තමයි පුහුණුකරු ඉන්දික මහත්තයා කිව්වෙ වොලිබෝල් ගහන්න එවන්න කියලා. ඒ වෙද්දී එයා පාසලේ එල්ලේ කණ්ඩායමේ සහ නෙට්බෝල් කණ්ඩායමේ සෙල්ලම් කළා. ඒත් ඉතිං ඒ ක්‍රීඩාවලින් තරගවලට ගියේ ම නැති තරම්. අක්කගේ තනියට ගිය පොඩි දෝනිත් වොලිබෝල් ක්‍රීඩාවට ම යොමු වුනා. මේ ක්‍රීඩාවෙන් ඉදිරියට ම යන්න තමයි දෙන්නගෙ ම බලාපොරොත්තුව,” මේ දක්ෂතා දක්වන අක්ක-නගෝ ගේ අනාගත බලාපොරොත්තු ගැන ආදරණීය තාත්තා අබේරත්න මහතා පැවසුවේ ඒ ආකාරයෙන්.

චතුරි මේ වෙද්දී උසස් පෙළ සමත් ව කලා අංශයෙන් වැඩි දුර අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුව සිටිනවා. නමුත් තමන් ඉගෙන ගත් තිස්සපුර විද්‍යාලයේ උසස් පෙළ පංති නොමැති බැවින් ඇයට වෙනත් පාසලකට යෑමට සිදු වීම තමයි ලොකු ම අභියෝගය වී ඇත්තේ.

පාසල හැර යන්න ලොකු දුකක් තියෙනවා. ඒත් උසස් පෙළ කරන්න නම් වෙනත් පාසලකට යන්න ඕන. ඒ ගියත් දිගට ම වොලිබෝල් ක්‍රීඩාවේ නියැලෙන්න බලාපොරොත්තු වෙනවා. දැනට ක්‍රීඩා සමාජ කිහිපයකින් ම ක්‍රීඩා කරන්න කතා කරලා තියෙනවා. ඒත් ඉතිං අධ්‍යාපනය නිසා දැන්ම ක්‍රීඩා සමාජ මට්ටමින් තරගවලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ,” චතුරි පූර්ණිමා පැවැසුවා.

සුලක්ෂනා පසිඳුනි මේ වෙද්දී 10 ශ්‍රේණියේ ඉගනුම ලබන අතර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන බවයි පවසන්නේ. එහෙත් ලැබෙන විවේකයේ දී වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වීමට ද ඇය අමතක කරන්නේ නැහැ.

අපි කාගේත් ආසාව අපි මේ ඉන්න තත්ත්වයෙන් අපේ දරුවන් ගොඩ දාන එක. ඒකට වොලිබෝල් ගහල විතරක් මදියි. නිසි අධ්‍යාපනයත් ලැබිය යුතුයි. ඒත් ඉතිං අපේ පළාත්වල අධ්‍යාපනය තියෙන්නේ අපිටත් වඩා දුප්පත් මට්ටමේ. මේ නිසා අධ්‍යාපනය පැත්තෙන් පහසුකම් ලැබෙනවා නම් ඒක ලොකු පිනක්.”

අක්කයි නංගි කලකට ඉහත

මේ ජයග්‍රහණ චතුරිගේත්, සුලක්ෂනාගේත් පෞද්ගලික ජයග්‍රහණය ලෙසින් ලඝු කිරීමට ඔවුන්ගේ කැමැත්තක් නැහැ. ඔවුන් ද තිස්සපුර විද්‍යාලය ද යනු දෙකක් නොව එකක් ලෙසයි ඔවුන්ගේ හැඳින්වීම. මේ ජයග්‍රාහී ගමනේ දී විවිධ තරාතිරමේ විශාල පිරිසක් සිටින බවයි ඔවුන් පවසන්නේ.

අපි අපේ දරුවන්ගේ ක්‍රීඩාව මේ තත්ත්වයට ගෙන එන්න විශාල ලෙස දුක් වින්ඳා. තරග තියෙද්දී, ලියුම් ගහගෙන පොළවල් ගානේ, කඩයක් කඩයක් ගානේ මුදල් සම්මාදමේ ගියා. දුන්න අය දුන්නේ ආශීර්වාදය ඇතිවමයි. ඒ නිසාම දරුවෝ වාසනාවන්ත වුනා. එහෙම නොවුනා නම් අපේ දරුවන්ට කොළඹ තියෙන කිසිදු තරගයකට සහභාගී වෙන්න බැරි වෙනවා,” අබේරත්න මහතා මහත් ගෞරවයෙන් පැවසුවා.

ඒ ගෞරවනීය ප්‍රණාමය මේ අක්ක – නගෝ දෙදෙනා වෙනුවෙන් ම පමණක් නොවේ, තිස්සපුරට වොලිබෝල් නවෝදයක් එක් කළ සෑම සියලු දෙනෙක් වෙනුවෙන්මයි.

පාසල් වොලිබෝල් පිටියේ ජය කෙහෙලි නංවන මේ අක්ක – නගෝ දෙදෙනාට මෙන් ම තිස්සපුර විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම්වලට ThePapare.com හී සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<