ශුරතාව දිනාගත් ගුවන් හමුදාවට එක්ස්පෝ ලංකා හා පොලිසියෙන් අභියෝග – අන්තර් ක්‍රීඩා සමාජ දැල් පන්දු තරගාවලිය

134

ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය 2015 වසර වෙනුවෙන් සංවිධානය කළ පළමු තරගාවලිය වූ අන්තර් ක්‍රීඩා සමාජ දැල් පන්දු තරගාවලියේ සමස්ත ශුරතාව දිනාගන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය.

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් දෙදිනක් පුරා පැවැති මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිට පැවැති සෑම තරගයක්ම ඉතා තරගකාරී මට්ටමක පැවැතීම විශේෂත්වයක් ඉසිලීය.
එසේ වුවත් අවසන් වරට 2012 වසරේදී පවත්වන ලද මෙම තරගාවලියේ සමස්ත ශුරතාව දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා පිල මෙවර තුන්වැනි ස්ථානය හිමි කරගෙන තිබුණේ දරුණු පසුබෑමකට ලක් වෙමිනි.

පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එක්ස්පෝ ලංකා පිල හමුවේ ලකුණු 23-20ක් ලෙස යුද හමුදා පිල පරාජය ලැබූ අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා පොලිස් පිල හා ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල අතර පැවැති කරට කර තරගය අවසන් වන විට දෙපිලම ලකුණු 24 බැගින් රැස්කර තිබීම කැපී පෙනුණි.
ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායම තෝරා ගැනීම සඳහා අතිරේක කාලයක් ලබාදුන් අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල ලකුණු
31-29ක් ලෙස ජය ලැබුවේය.
තරගාවලියේ තෙවැනි ස්ථානය තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් පිල හා යුද හමුදා පිල අතර පැවැති තරගයෙන්් යුද හමුදා පිල ලකුණු
29-25ක් ලෙස ජයගෙන තිබිණි.

දැල් පන්දු රැජන _ දුලංගා ධනංජී (ගුවන්)
දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව – නිලුෂිකා සමන්ති (ගුවන්)
දක්ෂතම රකින්නිය – ෂෙරීන් නුගේරා (එක්ස්පෝ ලංකා)
දක්ෂතම විදින්නිය – මේනකා දිල්රුක්ෂි ( ශ්‍රී ලංකා පොලිසිය)
ශුරතාව – ගුවන් හමුදාව
අනු ශුරතාව – එක්ස්පෝ ලංකා
තෙවැනි ස්ථානය _ යුද හමුදාව