ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට කෘතගුණ දක්වයි

279

මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ළමයින් හා පවුල් සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000ක මූල්‍යය ත්‍යාගයක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව UNICEF හි (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ) ඕස්ට්‍රේලියානු තානාපතිවරයෙක් ලෙස කටයුතු කරන ටෙස්ට් නායක Pat Cummins මෙන්ම සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක Aaron Finchගේ මූලිකත්වයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000ක මුදලක් (රුපියල් මිලියන 11කට ආසන්න මුදලක්) UNICEF අරමුදලේ ඉල්ලීමක් මත මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුල අවදානමට ලක්විය හැකි මිලියන 1.7ක දරුවන් සඳහා පෝෂණය, සෞඛ්‍ය, සුරක්ෂිත පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා සඳහා මෙම මුදල් යොදවනු ඇත.

වත්මන් විස්සයි විස්ස ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වුනා.

විස්සයි විස්ස තරගාවලිය 2-1 ක් ලෙස ඕස්ට්‍රේලියාව ද, එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ශ්‍රී ලංකාව ද ජය ගත් අතර ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් වුනා.

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද තරගාවලියක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සීමිත පන්දුවාර තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විසින් සිය ස්තුතිය ද පළ කර සිටි අතර එය මුළු ලෝකයේම අවධානයට ලක්වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<