රන් දිනූ මෙග් ලැනින්ග් සමුගනීවි ද?

1971

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Meghann “Meg” Lanning (මෙග් ලැනින්ග්) යම් කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වීමට තීරණය කොට තිබෙනවා.

පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනුවේ ඇගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.

ඇයට පෞද්ගලික හේතූන් මත නිවාඩුවක් අවශ්‍ය බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එහෙත් එම නිවාඩුව අවසන් වන කාලය නිශ්චිත නොවන බව ද සඳහන් වනවා.

ඒත් සමඟින් ඇය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ Hundred තරගාවලියෙන් ද ඇය ඉවත් වී තිබෙනවා. ඇය ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම නියෝජනය කිරීමටයි නියමිතව තිබුණේ.

කාර්යබහුල වසර කිහිපයකින් පස්සේ මම මං ගැන හිතන්න ඉඩ සහ කාලය ලැබෙන පරිදි පියවරක් පසුපසට ගන්න මම තීරණය කරලා තියෙනවා.” ඇගේ ප්‍රකාශයේ එසේ සටහන්.

ලබා දුන් සහායට මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ මගේ ක්‍රීඩිකාවන්ටත් කෘතගුණවේදී වෙනවා. මගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න යැයි ඉල්ලා සිටිනවා.”, ඇය වැඩිදුරටත් සටහන් කොට තිබුණා.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා (CA) හි කාර්ය සාධන ප්‍රධානි ෂෝන් ෆ්ලෙග්ලර් පැවසුවේ,

විවේකයක් අවශ්‍ය බව හඳුනා ගැනීම ගැන අපට මෙග් ගැන ආඩම්බරයි. මේ කාලයේ දී ඇයට සහාය වෙන්න අප තීරණය කළා.” යනුවෙන්.

අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසිද්ධිය අපේ ප්‍රමුඛ කාර්යභාරයයි. අපි මෙග් එක්ක, ඇයට සහාය වීම සඳහා වැඩකරනවා. ඇයට අවශ්‍ය කාලය ලබා දෙනවා.”, ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙග් ලැනින්ග් කාන්තා ක්‍රිකට් වල ලොව ප්‍රබල පිතිකාරිණියක්. එක්දින තරග 100ක දී 53.1ක සාමාන්‍යයක් සහිතව ලකුණු 4463ක් ලබාගෙන සිටින ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 124ක දී ලකුණු 36.5ක සාමාන්‍යයක් සහිතව ලකුණු 3211ක් ලබාගෙන සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<