Manchester City හිටපු නායකයා ශ්‍රී ලංකාවට!

628

ශ්‍රී ලංකා පිරිමි ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්කොට්ලන්ත ජාතික Andy Morrison නම් කර තිබෙනවා. එමෙන්ම එංගලන්ත ජාතික Keith Stevens සහය පුහුණුකරු ලෙස ද නම් කර තිබීම විශේෂත්වයක්.

ශක්තිමත් ජාතික පාපන්දු කණ්ඩායමක් බිහි කිරීම සඳහා කටාර් හි Aspire පදනම සමඟ එක්ව අනුගමනය කෙරෙන තුන් වසරක සැලැස්මේ කොටසක් ලෙස මෙම පත්කිරීම් සිදු කර තිබෙනවා.

සුප්‍රකට Manchester City කණ්ඩායමේ හිටපු නායකයෙකු වන Morrison, 1998 වසරේ සිට 2002 වසර දක්වා එම කණ්ඩායම නියෝජනය කළා. Huddersfield Town, Blackpool සහ Blackburn Rovers කණ්ඩායම් වලට ද ක්‍රීඩා කර තිබෙන ඔහු, පුහුණුකරුවෙකු ලෙස වේල්ස් ජාතික ලීගයේ Connah’s Quay Nomads කණ්ඩායම සමඟ 2015 වසරේ සිට 2021 වසර දක්වා කටයුතු කර තිබෙනවා.

බොස්නියානු ජාතික Amir Alagic යටතේ ශ්‍රී ලංකා පිරිමි ජාතික පාපන්දු කණ්ඩායම තරමක දියුණුවක් ලබාගත් අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය මත Alagic කණ්ඩායමෙන් සමුගත්තා.

එංගලන්ත පාපන්දු ලීගයේ තරග 557ක් ක්‍රීඩා කර තිබෙන සහය පුහුණුකරු Stevens, 1980 වසරේ සිට 1999 වසර දක්වා Millwall කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. පසුව සිය වාසස්ථානය ලෙස ඕස්ට්‍රේලියාව තෝරාගත් ඔහු, ඕස්ට්‍රේලියානු කාන්තා ලීගය ජයග්‍රහණය කළ Brisbane Roar කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

තව ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ වන විට ගෝල රැකීමේ පුහුණුකරුවෙකු සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.

එළඹෙන සිකුරාදා වන විට Morrison හා Stevens දිවයිනට පැමිණීමට නියමිත අතර පසුව ඔවුන් AFC ආසියානු කුසලානය සඳහා වන තේරීම් තරග සඳහා කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

විදෙස් ශාරීරික සුවතා පුහුණුකරුවන් දෙදෙනෙකු ද මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරන අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක් සමඟ විදෙස් පුහුණුකරුවන් සිව්දෙනෙකු වැඩ කරන පළමු අවස්ථාව මෙයයි.

කටාර් Aspire පදනම සමඟ ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ දක්ෂ ක්‍රීඩකයින්ට එක්සත් රාජධානියේ හා යුරෝපයේ ක්‍රීඩා කිරීමට ශිෂ්‍යත්ව ලබාදීමට නියමිත අතර ඔවුන්ට කටාර්හි Aspire ඇකඩමියේ පුහුණුවීම් සිදුකිරීමට අවකාශය හිමි වෙනවා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<