ඩෙන්මාර්කයට පෙරළිකාර ජයක්; රුසියාව, බෙල්ජියම සිය කාණ්ඩවල පෙරමුණට

Euro 2020

134

යුරෝපීය පාපන්දු පිටියේ ශූරයන් සොයා යන “Euro 2020” තරගාවලියේ මූලික වටයේ තවත් තරග හතරක් (C සහ B කාණ්ඩයේ) ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) රාත්‍රියේ සහ අද (22) උදෑසන පැවැත්වුනා.

එහි දී පිළිවෙළින් යුක්‍රේනය, North Macedonia, රුසියාව සහ ෆින්ලන්තය සහ පරදවා ජයග්‍රහණ ලබා ගන්නට ඔස්ට්‍රියා, නෙදර්ලන්ත, ඩෙන්මාර්ක් සහ බෙල්ජියම් කණ්ඩායම්වලට හැකි වුනා.

Ukraine v Austria 

C කාණ්ඩයේ තරගයක් ලෙස රුමේනියාවේ Bucharest හී Arena Națională ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු, මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා දෙපිළටම ඉතා වැදගත් වූ මෙම තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට සමත් වුනේ ඔස්ට්‍රියාවයි. 

තරගය ආරම්භයේ සිටම සිය ආධිපත්‍ය පැතිරවීමට සමත් වූ ඔස්ට්‍රියා කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය 21 වැනි මිනිත්තුවේ දී රැස්කිරීමට Christoph Baumgartnerට හැකි වුනා. පැතිපහර අවස්ථාවක් මගින් David Alaba යොමු කළ පන්දුවක් පාදයෙන් ගෝල රාමුව තුළට එල්ල කිරීමට ඔහු සමත් වුනේ යුක්‍රේන ගෝල රකින්නාට නැවතීමට කිසිදු ඉඩක් නොතබමින්.

29 වැනි මිනිත්තුවේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයන් පසුකර තනිව පන්දුව ඉදිරියට ගෙන එමින් ගෝලයේ දකුණු කෙළවරට අලංකාර පහරක් එල්ල කිරීමට යුක්‍රේන ක්‍රීඩක Mykola Shaparenko සමත් වූ නමුත් එය ඉතා දක්ෂ ලෙස නවතාලීමට ඔස්ට්‍රියා ගෝල රකින්නා සමත් වුනේ යුක්‍රේන ක්‍රීඩකයන් ද පුදුමයට පත්කරමින්.

නැවතත් තරගයේ 37 වැනි මිනිත්තුවේ දී ඔස්ට්‍රියා ක්‍රීඩක Konrad Laimer එල්ල කළ පහරක් දක්ෂ ලෙස වළක්වන්නට යුක්‍රේන ගෝල රකින ක්‍රීඩක Georgi Bushchan සමත් වූ අතර ඉන්පසු ඔස්ට්‍රියා ක්‍රීඩකයන් එල්ල කළ පැතිපහර අවස්ථාව ද සාර්ථකව නවතාලීමට ඔහුට හැකි වුනා.

පළමු වටයේ සිදු වූ වැරදි නිවැරදි කරගැනීමේ අරමුණින් දෙවැනි වටයට පිවිසි යුක්‍රේන ක්‍රීඩකයන් පෙර අර්ධයට වඩා සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වූ නමුත් ඔස්ට්‍රියානු පසුපෙළ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය නිසා ගෝල ලබා ගැනීමට අවස්ථාවක් ඔවුන්ට හිමිවුනේ නැහැ.

ඒ අනුව තරගය ගෝල 1-0 ලෙස ජය ගනිමින් C කාණ්ඩයේ දෙවැන්නා ලෙස කණ්ඩායම් 16 වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රියානු ක්‍රීඩකයන්ට හැකි වුනා.

 

අවසන් ලකුණු තත්වය: ඔස්ට්‍රියාව 1– 0 යුක්‍රේනය 

ගෝල ලාභීන්:

  • ඔස්ට්‍රියාවChristoph Baumgartner 21’

North Macedonia v Netherlands

නෙදර්ලන්තයේ සත්කාරකත්වයෙන් C කාණ්ඩයේ තරගයක් ලෙස Johan Cruyff Arena ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ගෝල 2-0ක් ලෙස ජය ගනිමින් සිය කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්තය සමත් වුනා.

ප්‍රබල නෙදර්ලන්ත ක්‍රීඩකයන්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් තරගයේ 10 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස් කිරීමට North Macedonia ක්‍රීඩක Ivan Trickovski සමත් වූ නමුත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් ලෙස සලකා අවලංගු කිරීමට පැති විනිසුරුවරයා කටයුතු කළා.

එම අවස්ථාවෙන් පසු නැවතත් තරගයේ 22 වැනි මිනිත්තුවේ දී Aleksandar Trajkovski විසින් එල්ල කළ පහරක් ගෝලයේ දකුණු රාමුවෙහි වැදී ඉවතට ගියේ North Macedonia ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු සුන් කරමින්.

තරගයේ 24 වැනි මිනිත්තුවේ දී නෙදර්ලන්ත දඬුවම් සීමාව ආසන්නයේ දී නැවත ලබා ගත් පන්දුවක් වේගවත් පන්දු හුවමාරු කිහිපයක් ඔස්සේ North Macedonia ගෝල රාමුව අසලට ගෙනවිත් වේගවත් පහරක් මගින් ගෝල දැල තුළට එල්ල කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depay සමත් වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නාව නරඹන්නෙක් බවට පත් කරමින්.

30 වැනි මිනිත්තුවේ දී නෙදර්ලන්ත ක්‍රීඩක Denzel Dumfries හිසින් ගෝලයට එල්ල කළ පන්දුවක් අතිදක්ෂ ලෙස වැළැක්වීමට Stole Dimitrievski සමත්වූවත් එම අර්ධය ගෝල 1-0ක් ලෙස නෙදර්ලන්තයට පෙරමුණ දෙමින් අවසන් වුනා.

පළමු අර්ධයේ ලද වාසියත් සමඟින් දෙවන අර්ධයට පිවිසි නෙදර්ලන්තය වෙනුවෙන් 51 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය රැස්කරමින් තරගය සිය කණ්ඩායම දෙසට හරවා ගන්නට නෙදර්ලන්ත නායක Georginio Wijnaldumට හැකි වුනා. Memphis Depay විසින් ප්‍රතිවාදී ගෝල රකින්නා පසුකරමින් ගෝලය අසලට යොමු කළ පන්දුව ඉතා පහසුවෙන් දැල තුලට එල්ල කිරීමට Wijnaldum සමත් වුනා.

සිය කණ්ඩායම වෙනුවෙන් නැවතත් 58 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Georginio Wijnaldum ප්‍රතිවාදී ගෝල රකින්නා නැවැත්වීමට උත්සහ කළ පන්දුවක් නැවත දඬුවම් සීමාව තුළ දී ලබා ගනිමින් ගෝලයට එල්ල කිරීමට සමත් වුනේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමිනි.

71 වැනි මිනිත්තුවේ දී North Macedonia ක්‍රීඩක Darko Churlinov විසින් ගෝලයක් ලබා ගැනීමට සමත් වූවත් එය ද ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.

තරගයේ 88 වැනි මිනිත්තුවේ දී නෙදර්ලන්ත ක්‍රීඩකයෙකු එල්ල කළ පහරක් සාර්ථකව වළක්වන්නට North Macedonia ගෝල රකින්නා සමත් වුනා. ඒ අනුව තරගය ගෝල 3-0ක් ලෙස ජය ගනිමින් C කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්තයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 3 – 0 North Macedonia

ගෝල ලාභීන්:

  • නෙදර්ලන්තයMemphis Depay 24, Georginio Wijnaldum 51’ & 58’

Russia v Denmark 

ඩෙන්මාර්කයේ සත්කාරකත්වයෙන් පැවති B කාණ්ඩය නියෝජනය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට කණ්ඩායම් දෙකටම වැදගත් වූ මෙම තරගයේ පෙරළිකාර ජයක් ලබමින් අවසන් 16 අසුන කරවා ගැනීමට සත්කාරක ඩෙන්මාර්කය සමත් වුනා.

මෙතෙක් සහභාගී වූ තරග ද්විත්වයම පරාජය වී තිබීම නිසා විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමේ අරමුණින් තරගයට පිවිසි ඩෙන්මාර්ක් ක්‍රීඩකයන් තරග ආරම්භයේ සිටම රුසියානු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වුනා.

තරගයේ පළමු ගෝලය රැස්කළේ සත්කාරක ඩෙන්මාර්ක් ක්‍රීඩක Mikkel Damsgaard විසිනුයි. දඬුවම් රාමුව පිටත දී ලද පන්දුවක් දඬුවම් රාමුව ආසන්නයේ සිට වේගවත් පහරක් මගින් ගෝලයේ දකුණු කෙළවරින් දැල වෙත එල්ල කිරීමට ඔහු සමත් වුනේ සිය කණ්ඩායමට වැදගත් තරගයකට අවශ්‍ය වූ ආරම්භය ලබා ගනිමින්.

එම අර්ධය තුළ කිසිදු ගෝලයක් රැස්කිරීමට රුසියානු කණ්ඩායමට අවස්ථාවක් හිමිනොවීම නිසා ගෝල 1-0ක් ලෙස සත්කාරකයන්ට පෙරමුණ ලබා දෙමින් පළමු අර්ධය අවසන් වුනා.

රුසියානුවන්ට තවත් පීඩනයක් එල්ල කරමින් තරගයේ 59 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට ඩෙන්මාර්ක් ක්‍රීඩක Yussuf Poulsenට හැකි වුනා. 

රුසියානු පසුපෙළ ක්‍රීඩකයෙකු විසින් ගෝල රකින්නාට යොමු කළ පන්දුවක් ගෝල රකින්නාට ප්‍රථම රුසියානු දඬුවම් සීමාවේ දී ලබා ගනිමින් ගෝලයට එල්ල කිරීමට ඔහු සමත් වුනා.

නමුත් ඩෙන්මාර්ක් ක්‍රීඩකයන්ගේ හදගැස්ම වැඩි කරමින් තරගයේ 70 වැනි මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථකව ගෝලයට එල්ල කරමින් සිය කණ්ඩායම නැවතත් තරගයට ගෙන ඒමට රුසියානු ක්‍රීඩක Artem Dzyubaට හැකි වුනා.

රුසියානුවන්ගේ සතුට කෙටි වේලාවකින් අහිමි කළ Andreas Christensen තරගයේ 79 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවෙන් පිටත සිට ඉතා අලංකාර පහරක් එල්ල කරමින් පන්දුව ගෝලයේ වම් කෙළවරින් දැල වෙත යොමු කිරීමට සමත් වුනේ ඩෙන්මාර්ක් නරඹන්න ද අමන්දානන්දයට පත් කරමිනි.

එම ගෝලයේ උණුසුම පහව යෑමටත් පෙර තරගයේ 82 වැනි සිය කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි ගෝලය රැස්කිරීමට ඩෙන්මාර්ක් ක්‍රීඩක Joakim Maehle සමත් වුනේ රුසියානු බලාපොරොත්තුව සියල්ල සුන් කරමින්.

ඒ අනුව තරගය ගෝල 4-1ක් ලෙස ජය ගැනීමට සමත් වූ ඩෙන්මාර්කය තරගාවලියේ ලද පළමු ජයග්‍රහණය ලබා ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ඩෙන්මාර්කය 4 – 1 රුසියාව 

ගෝල ලාභීන්:

  • ඩෙන්මාර්කයMikkel Damsgaard 38’, Yussuf Poulsen 59’, Andreas Christensen 79’, Joakim Maehle 82’
  • රුසියාව: Artem Dzyuba 70’ (P)

Finland v Belgium

රුසියාවේ Krestovsky ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තීරණාත්මක තරගයෙන් ගෝල 2-0ක් ලෙස ෆින්ලන්තය පරදවා B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රබල බෙල්ජියමය සමත් වුනා.

තරගය ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බෙල්ජියම් ක්‍රීඩක Romelu Lukaku විසින් හිසින් එල්ල කළ ගෝලයට එල්ල කළ පහරක් දක්ෂ ලෙස වළක්වන්නට ෆින්ලන්ත ගෝල රකින ක්‍රීඩක Lukas Hradeckyට හැකි වුනා.

නැවතත් එම අර්ධයේ 42 වැනි මිනිත්තුවේ දී බෙල්ජියම් ක්‍රීඩක Jeremy Doku විසින් ගෝලයට එල්ල කළ පහරක් ද සාර්ථකව වළක්වන්නට Hradecky සමත් වුනේ පළමු අර්ධය තුළ කිසිදු ගෝලයක් ලබා ගැනීමට ප්‍රතිවාදීන්ට ඉඩ නොතබමින්.

65 වැනි මිනිත්තුවේ දී Kevin De Bruyne ලබාදු න් අගනා පන්දු හුවමාරුවක් ඔස්සේ ලද පන්දුව ගෝලයේ දකුණු කෙළවරින් දැල තුළට යොමු කිරීමට Romelu Lukaku සමත් වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා අවලංගු කිරීමට විනිසුරුවරයා තීරණය කළා.

නමුත් තරගයේ 74 වැනි මිනිත්තුවේ දී ෆින්ලන්ත ගෝල රාමුවේ උඩ කොටසෙහි වැදී ආ පන්දුවක් මෙතෙක් වේලාවක් අගනා ගෝල රැකීමක නිරත වූ Lukas Hradeckyගේ අතෙහි වැදී ගෝල සීමාව පසු කිරීම නිසා බෙල්ජියමට පළමු ගෝලය හිමි වුනා.

එම අවාසනාවන්ත සිදුවීමෙන් කෙටි වෙලාවකට පසු ෆින්ලන්ත බලාපොරොත්තු විනාශ කරමින් දෙවැනි ගෝලය ද වාර්තා කිරීමට Lukaku සමත් වුනා. 81 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ දී ලද පන්දුවක් ප්‍රතිවාදී ක්‍රීඩකයන් පසුකරමින් ගෝලයට එල්ල කිරීමට ඔහුට හැකි වුනා.

ඒ අනුව තරගය 2-0ක් ලෙස ජය ගනිමින් සිය කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට බෙල්ජියමට හැකි වූ අතර අනෙක් තරගයේ ඩෙන්මාර්කය ලද පෙරළිකාර ජය නිසා B කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට ෆින්ලන්තයට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: බෙල්ජියම 2 – 0 ෆින්ලන්තය  

ගෝල ලාභීන්:

  • බෙල්ජියම Lukas Hradecky 74’ (OG), Romelu Luka 81’

තරගාවලියේ මූලික වටයේ තවත් තීරණාත්මක තරග ද්විත්වයක් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (23) උදෑසන පැවැත්වීමට නියමිතයි. එම තරගවල තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<