කැංගරුවන්ගේ සිංහ දේශ සංචාරය

Australia Tour of Sri Lanka 2025

75
Australia Tour of Sri Lanka 2025

ජූනි මාසයේ දී පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මෙරට තරග සංචාරය මේ මස 29 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරග සංචාරයට ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරග 2ක් ඇතුලත් වෙනවා.

Warne-Murali කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඔවුන් ලෝක ටෙස්ට් ශූරතාවලියට සහභාගී වීමට පෙර සහභාගී වන අවසන් ටෙස්ට් තරගාවලියයි.

ඕස්ට්‍රේලියා කණ්ඩායමක් අවසන් වරට මෙරට සංචාරයක යෙදී ඇත්තේ 2022 වසරේ දී වන අතර එම තරගාවලියට ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 5ක් සහ විස්සයි විස්සයි තරග 3ක් ඇතුලත් වුනා.

ඒ අතුරින් පැවැති ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙසින් සම කරමින් දෙරට ක්‍රීඩකයෝ නිමා කරන ලද අතර එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් සත්කාරක ශ්‍රී ලංකාව ද සහ විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙසින් සංචාරක ඕස්ට්‍රේලියානුවෝ ද ජයග්‍රහණය කරමින් නිමා කරනවා.

අනතුරුවයි මෙම තරග සංචාරය.

තරග කාලසටහන

1 වැනි ටෙස්ට් තරගය

  • ජනවාරි මස 29දා සිට පෙබරවාරි මස 2 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

2 වැනි ටෙස්ට් තරගය

  • පෙබරවාරි මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

1 වැනි එක්දින තරගය

  • පෙබරවාරි 12 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

2 වැනි එක්දින තරගය

  • පෙබරවාරි 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා එක් වෙන්නේ ඉන්දියාව සමඟින් සාර්ථක ටෙස්ට් තරගාවලියක් අවසන් කරමිනුයි. නිමා වූ වසරේ නොවැම්බර් මස 22 වැනිදා සිට මේ වසරේ ජනවාරි මස 05 වැනි දා දක්වා පැවැති මෙම තරගාවලියට තරග 5ක් ඇතුලත් වූ අතර ඉන් තරග  3-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වෙනවා.

එම තරගාවලියේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමට නායකත්වය දුන් Pat Cummins සුව නොවූ ආබාධිත තත්ත්වයක් සේ ම නැවත වතාවක් පියෙකු වීමට සිටීම ද හේතුවෙන් මෙම තරගාවලියෙන් ඉවත් ව සිටින අතර ඔහුගෙන් හිස්වන නායකත්වයේ කිරුළ 35 වැනි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් වඩාත් දක්ෂතා දක්වා ඇති Steven Smith නම් කර තිබෙනවා.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය මඟින් ඔහුට මෙම වගකීම පැවැරෙන්නේ 2023 වසරේ මාර්තු මාසයේ දී ඉන්දීය සංචාරයේ නායකත්වයේ කටයුතු කළාට පසුවයි. තරග 2කින් යුත් වූ එම තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වූවත් ඊට පසුව ඔහුට මෙම විරාම කාලය හිමි වෙනවා.

කෙසේ වෙතත්  Steven Smith නායකත්වයේ කටයුතු කරමින් මිට පෙර ද ශ්‍රි ලංකාවේ තරග සංචාරයක යෙදී තිබෙනවා. ඒ 2016 වසරේදීයි. තරග 3කින් යුත් එම තරගාවලිය ඔවුන්ට නිමා කිරීමට සිදු වෙන්නේ තරග 3-0ක පරාජයකට මුහුණ දෙමිනුයි.

එම තරග ත්‍රිත්වයත් සමඟින් Steven Smith ඕස්ට්‍රේලියා කණ්ඩායම 38 වතාවක් මෙහෙයවා ඇති අතර ඉන් තරග 21ක් ජයග්‍රාහී තරග ලෙස ද, තරග 10ක් පරාජිත තරග ලෙස ද සහ අනෙක් තරග 7 විසඳුමකින් තොරව ද අවසන් කර තිබෙනවා.

ඔහු මෙම තරග සංචාරයට එක් වෙන්නේ ටෙස්ට් තරග 114කට සහභාගී වෙමින් ඉනිම 204ක දී ලකුණු 9999ක් ලබා ගනිමින් සුවිශේෂී කඩඉමක් සඳහා ළඟා වීමට එළිපත්තේ සිට වීම ද විශේෂත්වයක්.

ඔහුගේ මෙම ලකුණු අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 5ක දී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 398ක් ද තිබෙනවා. එහි සාමාන්‍ය 49.75ක් ලෙසින් ඉහළ අගයක තබා ගැනීමට ද ඔහු සමත් ව සිටිනවා. ඔහුගේ ඉනිම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මීට වසර 2කට පෙර දී නොදැවී ලබා ගත් ලකුණු 145ක් ද ඇති බැවින් මෙම තරගාවලියේ දී ඔහු කෙරෙහි වැඩි අවධානයක් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවීම අනිවාර්ය වී තිබෙනවා.

ඉන්දීය සංචාරය සඳහා එක් වූ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Mitchell Marsh සේ ම දකුණතින් වේග පන්දු යවන Josh Hazlewood ද මෙම සංචාරයට එක් නොවන අතර නම් කරන ලද කණ්ඩායමට තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Mitchell Starc, දකුණතින් පිට දඟ පන්දු යවන Nathan Lyon මෙන් ම ඉදිරිපෙළ පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලත් Usman Khawaja සහ Marnus Labuschagne විශ්වසනීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙසින් එක් කර තිබෙනවා.

Mitchell Starc මෙම තරග සංචාරය සඳහා එක් වෙන්නේ ටෙස්ට් තරග 94ක දී ලකුණු 376ක් සහ ලකුණු 2190ක් ලබා ගනිමිනුයි. නිමා වූ ඉන්දීය සංචාරයේ දී පිතිකරුවෙක් ලෙසින් එතරම් ම දක්ෂතා දැක්වීමට ඔහුට නොහැකි වූවත් පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 18ක් ලබා ගනිමින් පන්දු යවන්නෙක් ලෙසින් තම යුතුකම ඉටු කරනවා.

ඔහුගේ ඉනිම් අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 9ක දී ලබා ගත් කඩුලු 51ක් ඇති අතර ඒ තුළ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 6ක් සේ ම තරගයක දී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 2ක් ද තිබෙනවා. ඔහුගේ තරග දිවියේ එවන් අවස්ථා වැඩිපුර ම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි ව වන අතර 2016 වසරේ දී ගාල්ලේ දී ලකුණු 94කට කඩුලු 11ක් දවා ගනිමින් එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් තබා ගැනීමට ද සමත් ව තිබෙනවා.

ඔහුට අමතර ව Nathan Lyon ද මේ දක්වා ටෙස්ට් තරග 134කට සහභාගී වෙමින් කඩුලු 539ක් ලබා ගනිමින් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් අතරට එක් වෙනවා. ඔහුගේ මෙම කඩුලු අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 13ක ලබා ගත් කඩුලු 46ක් ද තිබෙනවා.

38 හැවිරිදි වියේ පසුවෙන Usman Khawaja ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සිටින වඩාත් ප්‍රවේගවත් මෙන් ම සූක්ෂම ක්‍රියාවලියන්ගෙන් සමන්විත පිතිකරුවෙක් ලෙසින් හැඳින්වෙනවා. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 78කට සහභාගී වෙමින් ශතක 15ක් සහ අර්ධ ශතක 27ක් සමඟින් ටෙස්ට් ලකුණු 5635ක් ලබා සිටිනවා. ඒ අතර ශ්‍රී ලංකාවට එරෙහි තරග 8ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 364ක් ද ඒ අතර තිබෙනවා.

එමෙන් ම 30 හැවිරිදි වියේ පසුවෙන Marnus Labuschagne ද මෙම සංචිතයේ ප්‍රබල පිතිකරුවෙක්. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 55කට සහභාගී වෙමින් ශතක 11ක් සහ අර්ධ ශතක 23ක් සමඟින් ලකුණු 4346ක් ලබා සිටිමිනුයි මෙම තරග සංචාරය හා එක් වෙන්නේ. ඔහුගේ ටෙස්ට් පිතිකරු ගිණුමේ ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 4ක දී ශතයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලබා ගත් ලකුණු 240ක් ද තිබෙනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු රකින, පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය ලත් 33 හැවිරිදි වියේ පසුවෙන Alex Carey ද ගාල්ල ක්‍රීඩාංගණය හුරු පුරුදු ක්‍රීඩකයෙක් ලෙසින් මෙම සංචාරය හා සමඟින් ද එක් වෙනවා. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 37ක ඉනිම් 55ක දී ලකුණු 1555ක් ලබා සිටිනවා.

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තුන් ආකාරයේ ම තරග 150කට ආසන්න ප්‍රමාණයකට සහභාගී වී ඇති Travis Head ද මෙම තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ ඉදිරි පෙළ අසුනක් හිමිකර ගෙන සිටිනවා. ඔහු තමන් සහභාගී වූ අවසන් ටෙස්ට් තරග 5ක ඉනිම් 9ක දී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 448ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් අවසන් වරට කළ මෙරට සංචාරයේ තරග 2 දී ලකුණු 89ක් ලබා ගන්නවා.

ඊට අමතර ව දකුණතින් වේග පන්දු යවන 35 හැවිරිදි වියේ පසුවෙන Scott Boland සංචාරක කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් අතරට මෙම තරගාවලියට එක් වෙනවා. ඔහු මේ වන විට ටෙස්ට් තරග 13ක දී කඩුලු 56ක් සහ පළමු පෙළ කඩුලු 405ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

ඔහු ආසන්නත ම නිමා වූ ඉන්දීය ටෙස්ට් තරග තරගාවලියේ දී තරග 3ක දී කඩුලු 21ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මෙතෙක් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 26කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 20කට සහභාගී වී ඇති 32 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Sean Abbott ද මෙම කණ්ඩායමේ සාමාජිකයෙක් වී සිටිනවා. ඔහු පළමු පෙළ තරග 87ක කඩුලු 261ක් සහ ලකුණු 2799ක් හිමි ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකාවට එරෙහි ව මෙරට පැමිණෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් එක් වෙන අංකුර ක්‍රීඩකයා වෙන්නේ Cooper Connolly. 21 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඔහු මේ දක්වා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ද්විත්වය බැගින් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක් වූව ද ඔහුගේ පළමු පෙළ තරග දිවිය ද එතරම් ම දිගු නැහැ.

ඔහුගේ තරග ලැයිස්තුවේ මේ දක්වා තිබෙන්නේ පළමු පෙළ තරග 4ක් පමණක් වන අතර එහි අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 309ක් රැඳී තිබෙනවා. එහි සාමාන්‍ය 61.80ක් ලෙසින් පවත්වාගෙන යෑමට ඔහු සමත් ව සිටිනවා.

දඟ පන්දු යවන්නන්ට පරාදීසයක් බඳු යැයි පැවැසෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඔවුන්ගේ ප්‍රධාන තුරුම්පු 2 වී ඇත්තේ Matthew Kuhnemann සහ Todd Murphy. එබැවින් ඔවුන්ට මෙම තරග ද්විත්වයේ දී වැඩි ලෙසින් මහන්සි වීමට සිදුවනු නියතයි.

මේ අතුරින් 2023 වසරේ මාර්තු මාසයෙන් පසුව ටෙස්ට් තරගයකට එක් ව නොමැති වමතින් දඟ පන්දු යවන Matthew Kuhnemann නැවත වරත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට එක් කර තිබෙනවා. 28 හැවිරිදි වියේ පසුවෙන ඔහු මේ වෙද්දී ටෙස්ට් තරග 3කට එක් වෙමින් කඩුලු 9ක් ලබා සිටිනවා.

එමෙන් ම දකුණතින් පිට දඟ පන්දු යවන 24 වැනි වියේ පසුවෙන Todd Murphy කෙරෙහි ද ඔවුන් නැවත වරක් විශ්වාසය දිනා තිබෙනවා. තම පළමු තරගයේ දී ම කඩුලු 7ක් දවා ගනිමින් පෙරළිකාර දක්ෂතාවක් දැක් වූ ඔහු අවසන් වරට ඔස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමක් නියෝජනය කර ඇත්තේ 2023 වසරේ ජුලි මාසයේදීයි. ඔහු මේ වන විට ටෙස්ට් තරග 6කට එක් වෙමින් කඩුලු 21ක් ලබා සිටිනවා.

මෙරට පැමිණෙන කණ්ඩායමට ඇතුලත් ළාබාලතම ක්‍රීඩකයා වෙන්නේ Sam Konstas. 19 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය ලත් ඔහු මේ දක්වා සහභාගී වී ඇත්තේ ටෙස්ට් තරග 2කට පමණයි. ඉන්දියාව සමඟින් පැවැති එම තරග 2 දී ඔහු අර්ධ ශතකයක් සමඟින් ලකුණු 113ක් ලබා ගැනීමට සමත් වෙනවා.

ඊට අමතර ව ටෙස්ට් තරග 3කට සහභාගී වී සිටින Nathan McSweeney, ටෙස්ට් තරගයකට පමණක් සහභාගී වී සිටින Beau Webster සහ මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Josh Inglis ද මෙම සංචිතයට ඇතුලත්.

ඕස්ට්‍රේලියා සංචිතය

Steven Smith (නායක), Sean Abbott, Scott Boland, Alex Carey, Cooper Connolly, Travis Head, Josh Inglis, Usman Khawaja, Sam Konstas, Matt Kuhnemann, Marnus Labuschagne, Nathan Lyon, Nathan McSweeney, Todd Murphy, Mitchell Starc, Beau Webster.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට තරග සංචාරයේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<