පාකිස්තාන සංචාරයට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුට මරණ තර්ජන

4038

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කීපයක් පමණයි. මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Ashton Agar හට මරණ තර්ජනය එල්ල වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස තර්ජනාත්මක පණිවිඩයක් ලැබී ඇත්තේ Ashton Agarගේ බිරිඳ වන Madeleine හටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම තර්ජනාත්මක පණිවිඩය සමාජ මාධ්‍ය ඔස්සේ Agarගේ සහකරු වන Madeleine වෙත යවා ඇති බවයි. පසුව ඇය විසින් එය ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට සහ (CA) සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) යන දෙකටම වාර්තා කර තිබෙනවා.

පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගමාලාවට දින කිහිපයකට පෙර මෙලෙස මරණ තර්ජනයක් එල්ල වීම සුළුකොට තැකිය හැකි වන්නේ නැහැ.

අදාළ තර්ජනයේ දී Ashton Agar හට පාකිස්තානයට නොපැමිණෙන ලෙස අනතුරු අඟවා තිබෙනවා. The Sydney Morning Herald පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තාවක් සපයා තිබුණා. ඔවුන් පවසා සිටියේ මෙම තර්ජනය සත්‍යයක් බව කණ්ඩායමේ ප්‍රකාශකයෙකු විසින් තහවුරු කළ බවයි.

කෙසේ වෙතත් පවත්වන ලද පරීක්ෂණයකින් පසුව එය විශ්වසනීය තර්ජනයක් නොවන බව සොයා ගත් බව ද එම පුවත්පත සඳහන් කර තිබුණා. මෙම තර්ජනය යවා ඇත්තේ ව්‍යාජ Instagram ගිණුමකින් විය හැකි බව විශ්වාස කෙරෙනවා.

මෙය 1998 වසරෙන් පසු ඔස්ට්‍රේලියාව පාකිස්තානයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාවයි. තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මාර්තු 4 වැනිදා සිට 8 වැනිදා දක්වා රාවල්පිණ්ඩි හිදී පැවැත්වීමට නියමිතයි. දෙවැනි තරගය කරච්චි හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Ashton Agar හට එල්ල වූ තර්ජනය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ද නිල ප්‍රකාශයක් සිදු කර තිබුණා. The Sydney Morning Herald පුවත්පත එම වාර්තාව උපුටා දක්වා තිබුණා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විදිහට තර්ජනාත්මක සමාජ මාධ්‍ය සටහනක් ගැන අපි දැනුවත් වෙලා තියනවා. මෙම පණිවිඩයේ ස්වභාවය සහ අන්තර්ගතය පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සහ ඒකාබද්ධ රජයේ ආරක්ෂක ආයතන විසින් විමර්ශනයක් සිදු කළා. මෙවැනි සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සඳහා පුළුල් ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක වනවා. මෙම අවස්ථාවේ දී මේ පණිවිඩය අවදානමක් ලෙස සලකන්නේ නැහැ. ඒ වගේම ක්‍රිකට් ආයතනය විදිහට අපි මේ අවස්ථාවේ ඒ ගැන වැඩිදුර අදහස් දැක්වීමක් සිදු කරන්නේ නැහැ”.

The Sydney Morning Herald පුවත්පත් වාර්තාවේ අදාල තර්ජනාත්මක පණිවිඩයේ කොටසක් ද ඇතුළත් ව තිබුණා. එහි මෙසේ සඳහන් වුනා

මෙය ඔබේ සැමියා වන Ashton Agarට කරන අනතුරු ඇඟවීමක්. ඔහු පාකිස්තානයට එරෙහිව සංචාරයට පැමිණියහොත් ඔහු නැවත පණපිටින් එන්නේ නැහැ.”

පසුගිය වසරේ සැප්තැම්බරයේ දී නවසීලන්තය සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි හිදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු කිහිපයකට පෙර නවසීලන්ත රජය විසින් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසු එම සංචාරය අවලංගු කරනු ලැබුවා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<