Moors ක්‍රීඩකයන්ට ඉනිමක ජයක්

SLC Major Club 3 Day Tournament

73
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (20) නිමා වූ Moors සහ Nugegoda අතර තරගයෙන් ඉනිමක සහ ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Moors කණ්ඩායම සමත් වූවා. මෙය ඔවුන් මෙම තරගවාරයේ ලබා ගත් 2 වැනි ජයග්‍රහණයයි.

මෙම තරගයේ පෙර දිනය එකඳු හෝ පන්දුවක් නොයවා අතහැර දැමුණ අතර අද දවසත් සමඟින් ක්‍රීඩා කළ දින 2කක දී මෙම ජයග්‍රහණය වාර්තා වීම  කැපී පෙණුනා. එහි දී පන්දු යැවීමේ දී මිලාන් රත්නායක ඉනිම 2 දී කඩුලු 6ක් ද, රමේෂ් මෙන්ඩිස් සහ ශිරාන් ප්‍රනාන්දු ඉනිම 2 දී කඩුලු 5ක් ද බැගින් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණයේ නියමුවන් බවට පත් වූනා.

තරගයේ පළමු දිනය අවසන් වන විට නොදැවී ලකුණු 92ක් ලබා සිටි Moors කණ්ඩායමේ වමත් පිතිකරු සිතාර ගිම්හාන් අද තම පළමු පෙළ තරග දිවියේ සිව් වැනි ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඔහු පන්දු 218කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 134ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 77ක දී වාර්තා කළ හොඳම ඉනිම බවට ද පත් වුනා.

අද දවසේ දී පැවැති තරගවල දී Chilaw Marians කණ්ඩායමේ තික්ෂිල ද සිල්වා සහ Bloomfield කණ්ඩායමේ ලහිරු මධුශංක අර්ධ ශතක ඉනිම් වාර්තා කළ අතර පන්දු යැවීමේ දී Nugegoda කණ්ඩායමේ මදුක ලියනපතිරණ, Bloomfield කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු සහ Chilaw Marians කණ්ඩායමේ දුවිඳු තිලකරත්න කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර පෙර දිනයේ එකඳු හෝ පන්දුවක් නොයවා අද ආරම්භ වූ Bloomfield සහ Chilaw Marians කණ්ඩායම් අතර තරගයේ දවස නිමා වෙද්දී දෙපිලේ කඩුලු 24ක් දැවී යෑම විශේෂත්වයක් වුණා.

එම තරගයෙන් Chilaw Marians කණ්ඩායමට ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 55ක් ලබා ගත යුතු අතර ඒ සඳහා ඔවුන් සතුව ඇත්තේ කඩුලු 6ක් පමණයි.

තරගවල කෙටි ලකුණු පුවරු

Group A

Nugegoda SWC සහ Moors SC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

  • Moors– පළමු ඉනිම සියලුම දෙනා දැවී 325 (101.0) ජනිශ්ක පෙරේරා 63, පසිඳු සූරියබණ්ඩාර 27, සිතාර ගිම්හාන් 134, මිලාන් රත්නායක 27, ශිරාන් ප්‍රනාන්දු 21, තිලකරත්න සම්පත් 2/71, චාමිකර එදිරිසිංහ 3/97, මදුක ලියනපතිරණගේ 5/78
  • Nugegoda– පළමු ඉනිම සියලුම දෙනා දැවී 104 (30.1)ඇන්ජලෝ පෙරේරා 27, චාමිකර එදිරිසිංහ 25, මිලාන් රත්නායක 4/32, ශිරාන් ප්‍රනාන්දු 2/28, රමේෂ් මෙන්ඩිස් 2/33
  • Nugegoda – දෙවැනිඉනිම සියලුම දෙනා දැවී 148 (45.1)ඇන්ජලෝ පෙරේරා 28, කෙවින් පෙරේරා 20, චමත් ගෝමස් 20, චාමිකර එදිරිසිංහ නොදැවී 27, මදුරංග සොයිසා 27, මිලාන් රත්නායක 2/25, රමේෂ් මෙන්ඩිස් 3/41, ශිරාන් ප්‍රනාන්දු 3/23

Moors කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 73ක ජයක්.

Bloomfield C & AC සහ Chilaw Marians CC අතර තරගය Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians– පළමු ඉනිම සියලුම දෙනා දැවී 109 (25.0) තික්ෂිල ද සිල්වා 50, රවිඳු ප්‍රනාන්දු 5/42, ජෙෆ්රි වැන්ඩර්සේ 4/33
  • Bloomfield– පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (58.2)රොන් චන්ද්‍රගුප්ත 25, කසුන් අබේරත්න 28, ලහිරු මධුශංක 63, ඉසිත විජේසුන්දර 21, ශෙහාන් ජයසූරිය 3/38, දුවිඳු තිලකරත්න 5/55
  • Chilaw Marians– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 26 (10.0)රවිඳු ප්‍රනාන්දු 3/23

මෙම තරගය හෙට (21) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<