2024 වසර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට මිශ්‍ර ඵල ගෙන දුන් වසරක් ලෙස හඳුන්වාදිය හැකි. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලැබූ ක්‍රිකට් තරගාවලි කිහිපයක් ම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එංගලන්තයේ දී ද ටෙස්ට් ක්‍රිකට් ජයක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් 2024 විස්සයි විස්ස ලෝක කුසලානය මෙන්ම, ටෙස්ට් ලෝක ශූරතාවය වෙනුවෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම දැරූ වෙහෙසට සරිලන ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබුණා ද යන්න නම් සැකයට කරුණක්.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ දී කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා. කාන්තා ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වීම ඒ අතරින් ඉහළම ස්ථානයේ තැබිය හැකි අතර, ඊට අමතරව දකුණු අප්‍රිකාවට එරෙහිව ලද විශිෂ්ට විස්සයි විස්ස තරගාවලි ජය ද විශේෂයෙන්ම මතක් කළ යුතුමයි.
ගෙවුණු වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් මතක පිළිබඳ මෙතැන් සිට හැරී බලමු!
ටෙස්ට් ක්‍රිකට්
ගෙවුණු වසරේ දී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ මූලික ම බලාපොරොත්තු අතරට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීම එක් වුනා. 2023 වසරේ දී පාකිස්තානයට එරෙහිව ලද තරගාවලි පරාජයේ අමිහිරි මතක අමතක කිරීමට මෙම වසරේ දී ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු අතර, මෙම වසරේ දී ශ්‍රී ලංකාව තම පළමු ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් බංග්ලාදේශයේ සංචාරය කළා.
මෙහි දී ඔවුන් විසින් පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වූ අතර, දෙවැනි තරගයෙන් ද ලකුණු 192ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා. පසුගිය අප්‍රේල් මාසයේ දී පැවැත්වුණු මෙම තරගාවලියෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකාව එංගලන්තයේ තරග සංචාරයක් සිදු කළ අතර එම තරගාවලියේ පළමු තරග ද්විත්වයම ඔවුන්ට පරාජය වීමට සිදු වුනා.
තරගාවලියේ පළමු තරගයෙන් එංගලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට සමත් වූ අතර, දෙවැනි තරගයෙන් එංගලන්තයට ලකුණු 190ක ජයක් හිමි වුනා. කෙසේ වෙතත් පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස් පිත්තෙන් දැක් වූ දක්ෂතා මෙන්ම, ලහිරු කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා වේගපන්දුවේ දක්ෂතා ද සමඟ ශ්‍රී ලංකාව තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 08ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.
මින් පසුව පසුගිය සැප්තැම්බර් මාසයේ දී නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරගාවලියක් සඳහා සංචාරය කළ අතර, එම තරගාවලියට අයත් තරග ද්විත්වය ද ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 63ක ජයක් හිමි වූ අතර, දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමකින් සහ ලකුණු 154කින් ජය උරුම වුනා. මෙම තරග ජයග්‍රහණය කිරීමත් සමඟින් ම ශ්‍රී ලංකාවේ ටෙස්ට් ලෝක ශූරතා සිහිනයට දොර විවර වීම ආරම්භ වූ අතර, ඔවුන්ට මීළඟට නියමිත ව තිබූ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය එම සිහිනය වෙනුවෙන් පහසු මාර්ගයක් ද විවර කළා.
නමුත් පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තරග 2-0ක පරාජයකුයි උරුම වුනේ. පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 233ක පරාජයක් උරුම වූ අතර, දෙවැනි තරගයෙන් ලකුණු 109ක පරාජයක් උරුම වුනා.
කෙසේ නමුත් තවමත් ශ්‍රී ලංකාවේ ලෝක ශූරතා බලාපොරොත්තු නම් නිමා වී නැහැ. එළඹෙන වසරේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ලැබෙන ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වනු ඇති. එමෙන්ම ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රියාත්මක වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තීරණය ද ශ්‍රී ලංකා බලාපොරොත්තු වෙනුවෙන් සාධකයක් වනු ඇති.
මීට අමතරව ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි මාසයේ දී ඇෆ්ගනිස්තානය සමඟ ද ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළා. මෙහි දී ශ්‍රී ලංකාවට කඩුලු 10ක පහසු ජයක් උරුම වුනා.
සීමිත පන්දුවාර තරග
සීමීත පන්දුවාර තරග දෙස හැරී බැලීමේ දී ගෙවුණු වසර ශ්‍රී ලංකාව තරමක ඓතිහාසික ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූ අමුතු වසරක් ලෙසත් හඳුන්වාදිය හැකි.
විස්සයි විස්ස ලෝක කුසලානයේ දී බලාපොරොත්තු වූ තරමේ ජයග්‍රහණ කරා යන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නොහැකි වීම හැරුණු කොට ගෙවුණු වසරේ සීමිත පන්දුවාර ක්‍රිකට් පිළිබඳ ප්‍රේක්ෂකයින්ට සතුටක් ඇති කර ගත හැකි මට්ටමක් පැවතුණා.
මේ අතරින් විශේෂතම කඩ ඉමක් ලෙස පැතුම් නිස්සංක විසින් ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු තරගාවලියේ දී වාර්තා කළ විශිෂ්ට ද්විත්ව ශතකය හඳුන්වාදිය හැකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයකු එක්දින ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය මෙන්ම පළමු එක්දින ද්විත්ව ශතකයත් පැතුම් මෙහි දී වාර්තා කළා.
එමෙන්ම ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු මෙම තරගාවලියත් ශ්‍රී ලංකාව පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
මීට අමතරව 2024 වසරේ දී විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත් වූ ඉන්දියාව ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුනා. මේ සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය නම් ශ්‍රී ලංකාවට පරාජයට පත්වීමට සිදු වුනා. නමුත් එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ශ්‍රී ලංකාව විසින් මේ අයුරින් ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළේ වසර 27කට පසුව වීම ඉතාම විශේෂ සිදුවීමක්.
මින් පසුව ශ්‍රී ලංකාව විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවත් මෙවැනි ම කඩඉමක් තරණය කරන්න සමත් වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරයේ දීයි. එහි දී ශ්‍රී ලංකාව විසින් ඉතිහාසයේ පළමු වතාවට බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එමෙන්ම වසර හතරකට පසුව කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයකුත් වාර්තා කිරීමට ද ශ්‍රී ලංකාව සමත් වුනා.
ශ්‍රී ලංකා ක්‍රිකට් වික්‍රම මෙතැනින් ද නතර වුනේ නැහැ. මින් පසුව ශ්‍රී ලංකාව විසින් නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ද සමත් වුනා. ශ්‍රී ලංකාව ඒ අයුරින් නවසීලන්තය එක්දින තරගාවලියකින් පරාජය කළේ වසර 12කට පසුවයි.
ඉන් පසුව මෙම වසරේ අවසන් දින කිහිපයේ දී ශ්‍රී ලංකාව සීමිත පන්දුවාර තරගාවලියක් වෙනුවෙන් නවසීලන්තයේ සංචාරය කළා. මේ වන විට එම තරගාවලියේ තරග 2ක් ක්‍රියාත්මක වී අවසන්. කෙසේ වෙතත් එම තරග ද්විත්වයම ශ්‍රී ලංකාව පරාජයට පත් වුනා.
- 2024 වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් වරුණ
- ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයට යන්නේ කොහොමද?
- කමිඳු මෙන්ඩිස් ICC වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ ලබයි
- 2025 ශූරයින්ගේ කුසලානයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ
- ACC සභාපති ධුරය ශම්මි සිල්වාට හිමි වෙයි!
LPL 2024
2024 LPL තරගාවලිය ද පසුගිය ජුලි මාසයේ දී ක්‍රියාත්මක වුනා. Jaffna Kings, Galle Marvels, Kandy Falcons, Colombo Strikers සහ Dambulla Sixers කණ්ඩායම් පහේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වුණු මෙම තරගාවලියේ අවසන් මහා තරගයට Jaffna Kings සහ Galle Marvels කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර, තරගාවලියේ අවසන් මහා තරගයේ දී Galle Marvels වෙතින් ලද ලකුණු 185ක ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී සපුරා ගැනීමට Jaffna Kings කණ්ඩායම විසින් සමත් වුනා. අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙස ද Jaffna Kings ආරම්භක පිතිකරු Rilee Rossouw සම්මාන දිනා ගත්තා.
Lanka T10
මේ අතර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ නවමු පරිච්ඡේදයකට මුල පුරමින් වසරේ අවසන් මාසයේ දී Lanka T10 Super League තරගාවලිය ද ක්‍රියාත්මක වුනා. මෙම තරගාවලිය සඳහා Jaffna Titans, Hambantota Bangla Tigers, Nuwara Eliya Kings, Colombo Jaguars, Kandy Bolts සහ Galle Marvels කණ්ඩායම් සහභාගී වුනා.
මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Jaffna Titans සහ Hambantota Bangla Tigers කණ්ඩායම් සමත් වූ අතර, අවසන් තරගයේ දී Jaffna Titans කණ්ඩායමට එරෙහිව ලකුණු 26ක ජයක් වාර්තා කළ Hambantota Bangla Tigers කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුනා. අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානය Hambantota Bangla Tigers නායක දසුන් ශානක හට හිමි වුනා.
Hong Kong Sixers
මේ අතර වසර ගණනාවක ඇවෑමෙන් පසුව Hong Kong Sixers ක්‍රිකට් තරගාවලිය ද මෙම වසරේ දී ක්‍රියාත්මක වුනා. මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් 12ක් තරග බිමට පිවිසුණු අතර, ශ්‍රී ලංකාව ලහිරු මදුශංකගේ නායකත්වය යටතේයි තරගාවලියට සහභාගී වුනේ. තරගාවලියේ මූලික වටය අපරාජිත ව නිමා කළ ශ්‍රී ලංකාව අවසන් මහා තරගය තෙක් පැමිණීමට සමත් වූ අතර, අවසන් මහා තරගයේ දී ඔවුන්ට පාකිස්තානය මුණගැසුනා. එම තරගයෙන් ද කඩුලු 3ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව දෙවැනි වරටත් Hong Kong Sixers ක්‍රිකට් ශූරතාව හිමි කර ගැනීමට සමත් වූ අතර, අවසන් තරගයේ වීරයා ලෙස ධනංජය ලක්ෂාන් සම්මාන දිනාගන්නා අතරේ තරිඳු රත්නායක තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුනා.
කාන්තා ක්‍රිකට්
ගෙවී යන 2024 වසර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂ පරිච්ඡේදයක් සටහන් කළ වර්ෂයක් ලෙස හඳුන්වාදිය හැකියි.
මෙම වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත වූ අතර, එහි දී පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. එමෙන්ම ඉන් පසුව පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය ද 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, තරගාවලියේ තෙවැනි තරගයේ දී දකුණු අප්‍රිකාවෙන් ලද ලකුණු 302ක දැවැන්ත ඉලක්කය හඹා යමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු සංඛ්‍යාව 195ක්!
ඉන් පසුව ශ්‍රී ලංකාව කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වූ තරගාවලියට සහභාගී වුනා. මෙහි දී ඔවුන් විසින් තායිලන්තය, ස්කොට්ලන්තය, උගන්ඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙන්ම අවසන් මහා තරගයේ දී නැවතත් ස්කොට්ලන්තය පරාජය කරමින් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් මෙමගින් සුදුසුකම් ලබා ගත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එතරම් සුබදායී මතකයක් නිර්මාණය කළේ නැහැ. ලෝක කුසලානයේ දී A කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තමන්ට නියමිත තරග හතරම පරාජයට පත් වෙමින් මූලික වටයෙන් ම ඉවතට විසි වී ගියා.
මේ අතර පසුගිය ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරක නිරත වුනා. මෙහි දී පළමුව ක්‍රියාත්මක වූ එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, විස්සයි විස්ස තරගාවලිය ද 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
මින් අනතුරුව පසුගිය ජුලි මාසයේ දී කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ ක්‍රියාත්මක වුනා. මෙම තරගාවලියේ දී මූලික වටයේ B කාණ්ඩය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තමන් සහභාගී වූ තරග ත්‍රිත්වය ම ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. මෙහි දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කල අතර, ශ්‍රී ලංකාව එම තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට වුනා. ඉන් අනතුරුව ආසියානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයා වන ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව වෙනුවෙන් සටන් වැදුණා. එම තරගය රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට ලකුණු 166ක ඉලක්කයක් ලබා දුන්නා.
එම අභියෝගය සාර්ථකව බාර ගත් ශ්‍රී ලංකා පිතිකාරිණියන් විසින් පන්දුවාර 18 පන්දු 4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වූ අතර, මෙහි දී හර්ශිතා සමරවික්‍රම සහ චමරි අතපත්තු විසින් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා. අවසන් තරගයේ වීරවරිය ලෙස හර්ශිතා සම්මාන දිනා ගන්නා අතරේ, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන දිනාගත්තා.
ඒ අයුරින් ඉතා විශාල ශ්‍රී ලංකා ප්‍රේක්ෂක ප්‍රජාවක් පිරිවරා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිය පළමු ආසියානු කුසලානය සියතට ගැනීමට සමත් වීම මෙම වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්නට ලැබුණු වඩාත් ආකර්ෂණීය ම දසුන බවට කිසිදු සැකයක් නැහැ.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අයර්ලන්තයේ තරග සංචාරයක් සිදු කළා. මෙහි දී ඔවුන් විසින් විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් කර ගැනීමට සමත් වූ නමුත්, එක්දින තරගාවලියෙන් තරග 2-1ක පරාජයක් උරුම කරගත්තා.
19න් පහළ ක්‍රිකට්
2024 වසරේ දී ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා. වසර ආරම්භයේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණු 19න් පහළ ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ C කාණ්ඩයේ දෙවැනි තැනට පත් වෙමින් සුපිරි 6 වටයට සුදුසුකම් ලබා ගත් නමුත්, එහි දී 2 වැනි කාණ්ඩය නියෝජනය කල ශ්‍රී ලංකාවට පස් වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා.
මේ අතර 19න් පහළ ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ද ශ්‍රී ලංකාව මෙම වසරේ දී සමත් වූ අතර, අවසන් පූර්ව වටයේ දී ඔවුන් ඉන්දියාව හමුවේ පරාජය වුනා. මේ අතර කාන්තා 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සුපිරි හතර වටය දක්වා පැමිණීමට සමත් වූ නමුත්, එහි දී ඔවුන්ට සිව්වැනි ස්ථානයෙන් නතර වීමට සිදු වුනා.
ක්‍රීඩක ක්‍රීඩිකා දක්ෂතා
මෙම වසර තුළ මුළු ලෝකයේ ම අවධානය තමන් වෙත යොමු කර ගනිමින් විශිෂ්ට පිතිකරණයක නියැලීමට සමත් වූ පිතිකරුවකු ලෙස කමිඳු මෙන්ඩිස් හඳුන්වා දිය හැකි. ඔහු විසින් මෙම වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ තරග 9ක් ක්‍රීඩා කරමින් ඉනිම් 16ක් තුළ ලකුණු 1049ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 74.92ක් වැනි ඉහළ අගයක රැඳුණා. මේ වෙනුවෙන් ඔහු ටෙස්ට් ශතක 5ක් සහ අර්ධ ශතක 3ක් ද එක් කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්. ඔහු මෙම වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 5 වැනි ස්ථානයේ ද රැඳුණා.
මෙම වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවා ගැනීමට සමත් වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 48ක් දවා ගැනීමට සමත් වුනේ තරග 9ක් පමණක් ක්‍රීඩා කරමිනුයි. ප්‍රභාත් මෙම වසරේ ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර පස් වැනි තැනට පත් වුනා.
ගෙවුණු වසරේ එක්දින ක්‍රිකට් පිටියේ ලොව ඉහළම ලකුණු ලාභීන් තිදෙනා ම ශ්‍රී ලාංකිකයින් වීම විශේෂත්වයක්. කුසල් මෙන්ඩිස් ලකුණු 742ක් ලබා ගනිමින් එහි පළමු ස්ථානය හිමි කර ගන්නා අතරේ, පැතුම් නිස්සංක ලකුණු 694ක් ලබමින් දෙවැනි තැනට පැමිණුණා. චරිත් අසලංක එක්දින ලකුණු 605ක් ලබා ගනිමින් එහි තෙවැනි තැනට පත් වුනා.
ගෙවුණු වසරේ එක්දින පිටියේ ලොව වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට වනිඳු හසරංග සමත් වුනේ කඩුලු 26ක් ද සමඟයි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 7ක් බිඳ හෙළීම සටහන් වූ අතර, එය මෙම වසරේ ක්‍රීඩකයකු විසින් එක්දින පිටියේ වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස ද සටහන් වුනා.
මෙම වසරේ විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් තරග 20ක් තුළ ලකුණු 628ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම වනිඳු හසරංග විස්සයි විස්ස පිටියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම කඩුලු ලාභියා බවට පත් වෙමින් තරග 18ක් තුළ කඩුලු 38ක් බිඳ හෙළීමට සමත් වුනා.
ගෙවුණු වසරේ කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වූ අතර, ඇයගේ පිත්තෙන් ලකුණු 458ක් වාර්තා වුනා. ඇයගේ පිතිකරණ සාමාන්‍ය 65.42ක් ලෙස සටහන් වූ අතරම, ප්‍රහාරාත්මක වේගය 101.10ක් ලෙස සටහන් වීමත් විශේෂත්වයක්. ඇය මෙම වසරේ ලොව සිව්වැනියට ඉහළම එක්දින ලකුණු ලාභිනිය ද වුනා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු ලාභිනිය වූ කවීශා දිල්හාරි තරග 8ක් තුළ කඩුලු 17ක් බිඳ හෙළීමට සමත් වුනා.
කාන්තා විස්සයි විස්ස පිටියේ ලොව වැඩිම ලකුණු ලාභිනියන් අතර දෙවැනි ස්ථානයට පැමිණි චමරි අතපත්තු තරග 21ක් තුළ ලකුණු 720ක් ලබා ගැනීමට සමත් වුනේ 126.76ක ප්‍රහාරාත්මක වේගයක් මෙන්ම, 40.00ක පිතිකරණ සාමාන්‍යයක් ද රඳවා ගනිමිනුයි. ඇය මෙම වසරේ දී දෙවැනි වුනේ ඉන්දීය ක්‍රීඩිකා Smriti Mandhana හට පමණයි. එමෙන්ම හර්ශිතා සමරවික්‍රම මෙම ලැයිස්තුවේ 6 වැනි ස්ථානයට මෙන්ම, ශ්‍රී ලංකාවේ දෙවැනි ස්ථානයට පත් වෙමින් ලකුණු 585ක් ලබා ගත්තා. මේ අතර මෙම වසරේ කාන්තා විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම කඩුලු ලාභිනිය වූ කවීශා දිල්හාරි කඩුලු 22ක් දවා ගැනීමට සමත් වුනා.
වසරේ විශිෂ්ඨයින් ලෙස ලෙස නිර්දේශ ලැබූවන්
මෙම වසර වෙනුවෙන් ICCය විසින් ලබා දෙන සම්මාන වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම නිර්දේශ ලබාගත්තා.
කමිඳු මෙන්ඩිස්
- වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා
- වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා
කුසල් මෙන්ඩිස්
- වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා
වනිඳු හසරංග
- වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා
චමරි අතපත්තු
- වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩිකාව
- වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව
- වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (Rachael Heyhoe Flint සම්මානය)
ගෙවුණු 2024 වසර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට තරමක සුබ පල ගෙන දුන් වසරක් ලෙස සැලකිය හැකියි. එමෙන්ම ලබන්නා වූ 2025 වසර ඊටත් වඩා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට සුබදායී වසරක් වේවා යැයි ThePapare අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<