අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා යෞවනයින්ට විශිෂ්ට ජයක්

2067
Sri Lanka U19s v South Africa U19s

මාසයක පමණ කාලයක් පැවති දකුණු අප්‍රිකානු සංචාරය නිමා කරමින් අද (05) පැවැත්වුණු තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකාව සමගින් පැවති එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස නිමාවට පත්විය.

මැතිව්ස්ට ඕස්ට්‍රේලියානු විස්සයි 20 තරගාවලිය මඟ හැරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටින පරිදි මෙම මස අවසානයේ දී ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිත, තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා ඇන්ජෙලෝ මැතිව්ස් ..

අද ඕඩ්ශෝන් හිදී පැවති තෙවැනි එක්දින තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් කිහිපයක්ම සිදුවී තිබුනි. ඒ අනුව මෙම සංචාරය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඉසිලූ අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගය සඳහා සහභාගි නොවීය. ඔහුගෙන් හිස්වුනු නායකත්වයේ හිස්තැන අද පිරවූයේ තවත් දක්ෂ යොවුන් ක්‍රීඩකයෙකු වන කමිඳු මෙන්ඩිස් විසිනි. එමෙන්ම පාසල් ක්‍රිකට් පිටියේ පෙරළිකරුවෙකු වන පැතුම් නිස්සංකද අද කණ්ඩායම සමග එකතු වී තිබුණි.

කලින් තරග දෙකේදීම පිත්තෙන් අසාර්ථක වීම නිසා ජයග්‍රහණයේ ඉලක්කය අහිමි වී ගිය ශ්‍රී ලංකා යෞවනයින් අද සැලකිය යුතු තරමේ සාර්ථක පිතිකරණ රටාවක් දියත් කිරීමට සමත් විය. ඒ අනුව ලකුණු හිඟ ඕඩ්ශෝන් තණතීරුවේ වගකීම් සහගතව පිතිකරණයේ යෙදුනු ඔවුහු නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 228ක් රැස් කළහ. පසුගිය තරග වලදී සුපිරි දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූවත් අද පැවති තරගයේදී මැදපෙළ පිතිකරුවෙකුගේ භූමිකාව අකුරටම ඉටුකල හසිත බෝයගොඩ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 77ක් රැස් කළේය. ආරම්භක පිතිකරු විශ්ව චතුරංග ලකුණු 41යි. පන්දු යැවීමේදී ලූතෝ සිපම්ලා දකුණු අප්‍රිකානු යොවුන් පිළ වෙනුවෙන් කඩුලු 3ක් බිඳ හෙලීය.

තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණයකින් නිමා කිරීමට ලකුණු 229ක ඉලක්කයක් හිමිවුණු දකුණු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු ආරම්භයේදීම බොඳ කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. ඒ ලකුණු 33ක් වනවිට දකුණු අප්‍රිකානු පිතිකරුවන් සත් දෙනෙකුම නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවමිනි. එතැන් පටන් කෙනාන් ස්මිත් සහ ලුතෝ සිපම්ලා අතර යම් සබඳතාවයක් ගොඩ නැගුනත් අවසානයේදී දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 75කට සීමා විය. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් පිළට ලකුණු 153ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවිය. තරගාවලියේ වීරයා සම්මානය දකුණු අප්‍රිකානු පිතිකරු රේනාඩ් වෑන් ටොන්ඩර්ට හිමිවූ අතර අවසන් තරගයේ වීරයා සම්මානය ලකුණු 24කට කඩුලු 4ක් බිඳ හෙලූ නිපුන් රංසික දෝත දැරීය.

අද නිමාව දුටු තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය දකුණු අප්‍රිකානුවන් තරග 2-1ක් ලෙස ජය ගත්තත් මෙම සංචාරය පුරාවට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පැත්තෙන් වාර්තා වුනු සුබවාදී සිදුවීම් බොහොමයක්ම ඇත. ගෙවුනු මාසයේදී සිම්බාබ්වේ යොවුන් පිළ හා ප්‍රබල දකුණු අප්‍රිකානු යොවුන් පිළ එක්කොට ගනිමින් පැවති තුන්කොන් එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා යෞවනයින් සමත් වීම ඒ අතරින් ප්‍රධාන වේ. එමෙන්ම සමස්ථ සංචාරයේදී වැඩිම ලකුණු රැස්කල පිතිකරුවා මෙන්ම වැඩිම කඩුලු දවාලූ පන්දු යවන්නා ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමද අනාගතය පිලිබඳ යහපත් බලාපොරොත්තු දල්වන්නට හේතු විය.

ශ්‍රී ලංකා යොවුන් පිළේ වමත් ආරම්භක පිතිකරු විශ්ව චතුරංග තරග 9කදී ලකුණු 362ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගත් අතර, තවමත් 17 වැනි වියේ පසුවන දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක නිපුන් රංසික තරග 8ක් තුලදී කඩුලු 26ක් දවාලමින් වැඩිම කඩුලු ලාභීන් අතර ඉදිරියටම පැමිණීමට සමත් විය. සංචාරය පුරාවට ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය 10.19ක් තරම් අඩු අගයක් වීමද, පන්දුවාරයකට ලබා දුන් ලකුණු සංඛ්‍යාව 3.64ක් ලෙස සටහන් වීමද අනාගතයේදී ශ්‍රී ලංකාවෙන් බිහිවන සුපිරි වේග පන්දු යවන්නෙකු පිලිබඳ පෙරනිමිත්තක් බවට පත්වී ඇත.

ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 228 (පන්දුවාර 50): හසිත බෝයගොඩ 77, විශ්ව චතුරංග 41, පැතුම් නිස්සංක 24, ක්‍රිෂාන් සංජුල 23, ලූතෝ සිපම්ලා 3/38, මයිකල් කොහෙන් 2/42, කෙනාන් ස්මිත් 1/23.

දකුණු අප්‍රිකානු යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 75 (පන්දුවාර 40.1): කෙනාන් ස්මිත් 17, ලූතෝ සිපම්ලා 14, නිපුන් රංසික 4/24, මනෙල්කාර් ද සිල්වා 2/6, ප්‍රවීන් ජයවික්‍රම 2/16.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට