Home Sinhala ශානකගේ සුපිරි වැඩකිඩ සමඟින් ප්‍රේක්ෂකයින්ට අමතක නොවන ජයක්

ශානකගේ සුපිරි වැඩකිඩ සමඟින් ප්‍රේක්ෂකයින්ට අමතක නොවන ජයක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

402

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (11) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ නායක දසුන් ශානක ශ්‍රී ලංකාව පෙරළිකාර කඩුලු 4ක ජයග්‍රහණයක් කරා රැගෙන යමිනුයි.

පළමු තරග දෙකේ දී ම කාසියේ ජය ගත් ඕස්ට්‍රේලියාව මේ තරගයේ දී ද කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වුනු අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගාවලියේ පළමු තරග දෙකම ඕස්ට්‍රේලියාව ජය ගත් අතර ඒ නිසා ඔවුන් දැනටමත් මේ තරගාවලිය ජයග්‍රහණය කර අවසන්. කෙසේ නමුත් තරගාවලිය සාර්ථකව අවසන් කරමින් එක්දින තරගාවලියට හොඳ ආරම්භයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මේ තරග ජයග්‍රහණය ඉතාමත් වැදගත් වුනා.

දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදුව තිබූ අතර පළමු තරග දෙකම ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර වෙනුවට වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම මේ තරගයට කැඳවා තිබුණා. එසේම ඕස්ට්‍රේලියාව තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Marsh වෙනුවට Josh Inglis මේ තරගයට කැඳවා තිබුණා.

තෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

ශ්‍රී ලංකාව – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම.

ඕස්ට්‍රේලියාව – Aaron Finch (නායක), David Warner, Josh Inglis, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade (කඩුලු රකින්නා), Ashton Agar, Jhye Richardson, Kane Richardson, Josh Hazlewood.

ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරමින් Finch සහ Warner පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 35ක් තුල ලකුණු 44ක් ගොඩනංවමින් Powerplay අවස්ථාව තුල ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

මහීෂ් යොමු කළ ගුග්ලි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා එතෙක් වේලාවක් ශ්‍රී ලංකාවට හිසරදයක් වුනු Finchගේ කඩුල්ල දැවී ගිය අතර ඔහු පන්දු 20ක් තුල 4 පහර 5ක් එල්ල කරමින් ලකුණු 29ක් ලබාගෙන සිටියා.

අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි Maxwell සහ Warner පන්දු 26ක් තුල වේගවත් ලකුණු 42ක් ලබාගෙන මන්දගාමී තණතීරුව තුල ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් දියත් කළා.

6 පහරක් එල්ල කරමින් සිය ඉනිම ආරම්භ කළ Maxwell ලකුණු 16කට දවා ගැනීමට හසරංග සමත් වීමත් සමඟම ඕස්ට්‍රේලියාවේ දෙවැනි කඩුල්ල බිඳ වැටුණා.

ඉන් අනතුරුව පන්දු 2ක් තුල Warner සහ Inglisගේ කඩුලු දෙක දවා ගනිමින් ශ්‍රී ලංකාව ඉතාමත් හොඳින් නැවතත් තරගයට අවතීර්ණ වුනා. එහි දී අසලංක දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින් Inglisගේ කඩුල්ල දුවද්දී දවා ගැනීම කැපී පෙනුණා.

අවසානයේ දී ඔවුන්ගේ මැදපෙළ සවිමත් කළ Smith, Wade සහ Stoinis (ලකුණු 38) අවසන් පන්දුවාර 5 තුල ලකුණු 43ක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා.

නායක ශානක මේ තරගයේ දී නැවතත් පන්දු යැවීමෙන් සිය දායකත්වය දැක්වූ අතර නව පන්දුවෙන් පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ චාමික සිය පන්දුවාර 3 ලකුණු 19කට ක්‍රියාත්මක කළා.

මහීෂ් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගන්නා විට, හසරංග සහ ප්‍රවීන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා. අවසානයේ දී ඕස්ට්‍රේලියාව පන්දුවාර 20ක් තුල කඩුලු 5ක් දැවී ලකුණු 176ක අභියෝගාත්මක ලකුණක් දක්වා මෙහෙයවීමට Smith සමත් වුනු අතර ඔහු නොදැවී ලකුණු 37*ක් ලබා ගත්තා. Wade නොදැවී ලකුණු 13*යි.

ලකුණු 177ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු ගුණතිලක සහ නිස්සංක ලකුණු 25ක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූවා.

ගුණතිලකගේ දැවී යාමට පසුව නිස්සංක සහ අසලංක පන්දු 30ක් තුල ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් මේ ලකුණු ප්‍රමාණය හඹා යාම වෙනුවෙන් හොඳ අඩිතාලමක් සකස් කර ගත්තා.

පළමු තරග දෙකේ දී ම ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් මට්ටමක හෝ සාර්ථකත්වයක් ලබා ගත් අසලංක ලකුණු 26කට දැවී ගිය පසුව පළමු තරග දෙකේ දී මෙන් ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු ඉක්මනින් බිඳ වැටීම ආරම්භ වුනු අතර එහි දී ශ්‍රී ලංකා කඩුලු 4ක් ලකුණු 41ක් තුල බිඳ වැටී ගියා. අංක 4 ස්ථානයෙන් පිටියට පිවිසුණු රාජපක්ෂ ලකුණු 17කට දැවී ගියා.

පන්දුවාර 15කුත් පන්දු 4ක් අවසානයේ දී ලකුණු 108කට කඩුලු 6ක් බිඳ වැටී ඉතාමත් අසීරු අවස්ථාවක සිටි ශ්‍රී ලංකා ලකුණු සටහන ගොඩනැංවීම අරමුණු කරගෙන පිටියේ එක්වූ ශානක සහ චාමික සෙමින් ඔවුන්ගේ ආරම්භය ලබා ගත්තා.

විශේෂයෙන් ශානක සිය පළමු ලකුණු 6 ලබා ගැනීම සඳහා පන්දු 12ක් වැය කර සෙමින් සිය ඉනිම ආරම්භ කිරීම මේ තරගය නරඹමින් සිටි සියලුම දෙනා හට විශාල ගැටලුවක් බවට පත්ව තිබුණා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිමේ 18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ඕස්ට්‍රේලියානු හොඳම පන්දු යවන්නා වුනු Hazlewoodට එරෙහිව පන්දු 6ක් තුල ලකුණු 22ක් ලබා ගැනීමට චාමික සහ ශානක සමත් වුනු අතර ඉන් ලකුණු 21ක්ම ශානකගේ පිත්තෙන් වාර්තා වීමත් සමඟම තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් හට තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් රැගෙන එන්නට ශානක සමත් වුනා.

>>Photos – Australia Tour of Sri Lanka 2022 | 3rd T20I<<

අවසන් පන්දු 12 තුල ලකුණු 37ක ඉලක්කයක් හඹා ගිය ශානක සහ චාමික 19 වැනි පන්දුවාරය තුල Jhye Richardsonට එරෙහිව ලකුණු 18ක් ලබාගෙන අවසන් පන්දුවාරය තුල ලකුණු 19ක ඉලක්කයක් හඹා ගියා.

අවසන් පන්දුවාරයේ පළමු පන්දු දෙකම වයිඩ් පන්දුවීමත් සමඟම ශ්‍රී ලංකාවට අවසන් පන්දු 6 තුල ලකුණු 17ක ඉලක්කයක් ලැබුණු අතර චාමික සහ ශානක ඉතාමත් සුපිරි පිතිකරණයක නිරත වෙමින් තරග ජයක් බලාපොරොත්තුවෙන් පසුවුණු ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ප්‍රේක්ෂකයින් හට කලකට අමතක නොවන සුපිරි තරග අත්දැකීමක් ලබා දෙමින් ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වෙත ශ්‍රී ලංකාව මෙහෙයවීමට සමත් වුනා.

එහි දී සිය විස්සයි විස්ස දිවියේ ලකුණු 1,000 සීමාව පසුකර ගිය ශානක පන්දු 25ක් තුල 4 පහර 5ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් නොදැවී ලකුණු 54*ක් ලබා ගත්තේ සිය 4 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය ද ලබාගෙනයි. චාමික ලකුණු 14*යි.

අවසානයේ දී තවත් පන්දුවක් ඉතිරිව තිබිය දී ම කඩුලු 6ක් දැවී ලකුණු 177 ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව 2011ට පසුව එනම් වසර 11කට පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව තුල දී ලබා ගත් පළමු විස්සයි විස්ස තරග ජයග්‍රහණය දිනා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Hazlewood සහ Stoinis කඩුලු 2ක් දවා ගත් අතර ඕස්ට්‍රේලියාව 2-1ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත් වුවත් ලෝක ශූරයින්ට එරෙහිව ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් ඉතාමත් කැපී පෙනුණා.

Result


Sri Lanka
177/6 (19.5)

Australia
176/5 (20)

Batsmen R B 4s 6s SR
David Warner lbw b Maheesh Theekshana 39 33 6 0 118.18
Aaron Finch b Maheesh Theekshana 29 20 5 0 145.00
Glenn Maxwell c Dhanushka Gunathilake b Wanidu Hasaranga 16 9 0 2 177.78
Steve Smith not out 37 27 2 2 137.04
Josh Inglis run out (Charith Asalanka) 0 1 0 0 0.00
Marcus Stoinis st Kusal Mendis b Praveen Jayawickrama 38 23 3 1 165.22
Matthew Wade not out 13 8 2 0 162.50


Extras 4 (b 0 , lb 0 , nb 1, w 3, pen 0)
Total 176/5 (20 Overs, RR: 8.8)
Bowling O M R W Econ
Chamika Karunaratne 3 0 19 0 6.33
Dushmantha Chameera 4 0 46 0 11.50
Maheesh Theekshana 4 0 25 2 6.25
Dasun Shanaka 1 0 10 0 10.00
Wanidu Hasaranga 4 0 33 1 8.25
Praveen Jayawickrama 4 0 43 1 10.75


Batsmen R B 4s 6s SR
Dhanushka Gunathilake c Jhye Richardson b Josh Hazlewood, 15 12 1 1 125.00
Pathum Nissanka c Josh Hazlewood, b Marcus Stoinis 27 25 2 0 108.00
Charith Asalanka c Aaron Finch b Marcus Stoinis 26 19 3 1 136.84
Bhanuka Rajapaksa lbw b Ashton Agar 17 13 1 0 130.77
Kusal Mendis b Josh Hazlewood, 6 8 1 0 75.00
Dasun Shanaka not out 54 25 5 4 216.00
Wanidu Hasaranga c Aaron Finch b Jhye Richardson 8 7 1 0 114.29
Chamika Karunaratne not out 14 10 2 0 140.00


Extras 10 (b 1 , lb 4 , nb 0, w 5, pen 0)
Total 177/6 (19.5 Overs, RR: 8.92)
Bowling O M R W Econ
Jhye Richardson 4 0 46 1 11.50
Josh Hazlewood, 4 1 25 2 6.25
Kane Richardson 2.5 0 44 0 17.60
Ashton Agar 4 0 23 1 5.75
Glenn Maxwell 3 0 26 0 8.67
Marcus Stoinis 2 0 8 2 4.00



තරගයේ වීරයා – දසුන් ශානක     |   තරගාවලියේ වීරයා – Aaron Finch

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරග 5කින් සමන්විත තරගාවලියේ පළමු තරගය මේ මස 14 වැනිදා පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<