2022 LPL තරගාවලියට දින නියම වෙයි

ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලිය 2022

277

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියර 2022 වසරේ ජූලි අග දී ආරම්භ කිරීමට දින නියම කර තිබෙනවා.

තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (10) නිවේදනය කර තිබුණා.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස තරගාවලිය වන ලංකා ප්‍රිමියර් තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව තරගාවලියේ මුල් තරග කොළඹ දීත්, ඉතිරි කොටස හම්බන්තොට දීත් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා මෙවරත් කණ්ඩායම් 5ක් එක්වන අතර තරග කාලසටහන ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිතයි.

“අපි බොහොම සතුටුයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වැනි අදියර ගැන නිවේදනය කරන්නට, මෙම තරගාවලිය ලොව විස්සයි විස්ස තරගාවලි අතර ප්‍රධාන තරගාවලියක් ලෙස තැනක් දිනා ගනිමින් සිටිනවා”, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසා තිබුණා.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඉදිරි සතිවල දී පැවැත්වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<