නුවර ආදරවන්තයන්ට එක් වෙන විදෙස් ක්‍රීඩකයෝ

Lanka Premier League 2023

1210

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා එක්වෙන විදෙස් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් වූ ලිපි පෙළේ අවසන් ලිපිය වන මීට ඇතුළත් වෙන්නේ B-Love Kandy කණ්ඩායමේ තතු විත්තියි.

2020 ආරම්භක වසරේ දී කුසල් පෙරේරාගේ නායකත්වය යටතේ Kandy Tuskers නමින් ද,  2021 වසරේ දී ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වය යටතේ Kandy Warriors නමින් ද සහ 2022 වනිඳු හසරංගගේ නායකත්වය යටතේ Kandy Falcons යටතේ ද LPL තරගාවලිය හා එක් වූ නුවර කණ්ඩායම මෙවර B – Love Kandy නමින් වනිඳු හසරංගගේ ම නායකත්වය යටතේ තරගාවලියට එක් වීමට නියමිතයි.

B – Love Kandy කණ්ඩායමේ LPL ගමන් මඟ

වසර තරග ජය පරාජ නොවිසඳුණ ස්ථානය
1 2020 8 2 6 0 පළමු වටය
2 2021 8 2 6 0 පළමු වටය
3 2022 10 7 3 0 3
එකතුව 26 11 15 0

කණ්ඩායම පෙළ ගැස්වීමේ දී පෙර වසර ත්‍රිත්වයේ දී කොළඹ කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් මෙවර පළමු වතාවට B – Love Kandy සමඟින් එක් වෙනවා.

එමෙන් ම පසුගිය වසර ත්‍රිත්වයේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කළ දිනේෂ් චන්දිමාල්ට ද මෙවර B – Love Kandy කණ්ඩායමේ අසුනක් හිමි ව තිබෙනවා. ඊට අමතර ව කමිඳු මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර සහ අශේන් බණ්ඩාර වැනි ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටියේ සටන්කාමී ක්‍රීඩකයෝ ද  B – Love Kandy කණ්ඩායම සමඟින් තරගාවලියට එක් වෙනවා.

ඔවුන් සමඟින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා පළමු වතාවට එක්වෙන විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක් ද B – Love Kandy කණ්ඩායම සමඟින් එක් ව සිටිනවා. ඔවුන් අවසන් වරට පැවති තරගාවලියේ දී තෙවැනි ස්ථානයට පත් වීමේ ගෞරවය රැක ගැනීම තම ප්‍රමුඛ අරමුණ කර ගනිමිනුයි මෙවර තරගාවලිය හා එක් වෙන්නේ.

Mujeeb Ur Rahman

ඇෆ්ගනිස්තානයේ 22 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟපන්දු යවන Mujeeb Ur Rahman නුවර කණ්ඩායම සමඟින් එක්වෙන්නේ සෘජුව ම ගිවිසුම්ගත ක්‍රීඩකයෙක් ලෙසයි.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL), පාකිස්තාන සුපර් ලීග් (PSL), කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL), බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL), ඩුබායි ජාත්‍යන්තර ලීග් (ILT), කාබූල් ප්‍රිමියර් ලීග් (KPL), අබුඩාබි T10 සහ බිග් බෑෂ් ලීග් (BBL) වැනි තරග මාලා රාශියක යාවජීව සාමාජිකයෙක් වන Mujeeb වෙත මේ ආකාරයේ තරගාවලිවල දී ඇත්තේ දැඩි ඉල්ලුමක්.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මේ වෙද්දී ටෙස්ට් තරගයක්, එක්දින ජාත්‍යන්තර තරග 61ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 43ක් ක්‍රීඩා කර ඇති Mujeeb ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 217කට ක්‍රීඩා කරමින් කඩුලු 236ක් ලබා සිටිනවා.

ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා එක් වෙන්නේ පළමු වතාවටයි.

Fakhar Zaman

B – Love Kandy සමඟින් සෘජුව ම ගිවිසුම්ගත අනෙක් ක්‍රීඩකයා වන්නේ පාකිස්තානයේ 33 හැවිරිදි වියේ පසුවෙන වමත් ආරම්භක පිතිකරු Fakhar Zaman.

පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 3කට, එක්දින ජාත්‍යන්තර තරග 70කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 76කට ක්‍රීඩා කර ඇති  Fakhar Zaman  ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 214කට ක්‍රීඩා කරමින් ශතක 3ක් සහ අර්ධ ශතක 38ක් සමඟින් ලකුණු 5500ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

PSL, BPL, BBL සහ ILT තරගාමාලාවන් හී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක් ලෙසින් ප්‍රචලිත Fakhar Zaman ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා එක් වෙන්නේ පළමු වතාවටයි.

Mohammad Hasnain

පාකිස්තානයේ 23 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් වේගපන්දු යවන Mohammad Hasnain නුවර  කණ්ඩායම සමඟින් එකතු වෙන්නේ ඇමරිකානු ඩොලර් 34,000ක මුදලකට වෙන්දේසි වෙමින්.

ඔහු මීට පෙර Galle Gladiators සමඟින් එක් වීමට ගිවිස ගත්ත ද අවසන් මොහොතේ දී ඒ සඳහා සහභාගී වෙන්නේ නැහැ. එබැවින් ඔහු ද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා එක් වෙන පළමු අවස්ථාවයි මේ.

පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 9කට සහ විස්සයි විස්ස තරග 27කට ක්‍රීඩා කර ඇති Hasnain ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 98කට ක්‍රීඩා කරමින් මේ දක්වා ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 117ක්.

Asif Ali

පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 22ක දී ලකුණු 382ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 55ක දී ලකුණු 544ක් ලබා ඇති Asif Ali 2022 වසරේ ඔක්තෝබරයේ සිට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නේ නැහැ.

නමුත් PSL, CPL, BPL, BBL සහ ILT වැනි තරගවල යාවජීව සාමාජිකයෙක් වන Asif මේ දක්වා ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 267ක ඉනිම් 242කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 4334ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

ප්‍රථම වතාවට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා එක් වෙන ඔහු B – Love Kandy සමඟින් ගිවිසුම්ගත වන්නේ  ඇමරිකානු ඩොලර් 30,000ක මුදලකට වෙන්දේසි වෙමින්.

Mohammad Haris

පාකිස්තානයේ මැදපෙළ පිතිකරුවෙක් ලෙසින් ප්‍රචලිත 22 හැවිරිදි වියේ පසුවෙන Mohammad Haris නුවර කණ්ඩායම හා ගිවිසුම්ගත වන්නේ ඇමරිකානු ඩොලර් 20,000ක මුදලකට වෙන්දේසි වෙමින්.

ඔහු ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා එක් වෙන්නේ පළමු වතාවටයි. පාකිස්තානය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 5කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 9කට සහභාගී වී ඇති Mohammad Haris ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 47ක ඉනිම් 45ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 973ක් ලබා ඇති ක්‍රීඩකයෙක්.

Aamer Jamal

පාකිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස තරග 2කට පමණක් ක්‍රීඩා කර ඇති 27 හැවිරිදි වියේ පසුවෙන Aamer Jamal නුවර කණ්ඩායම හා ගිවිසුම්ගත වන්නේ ඇමරිකානු ඩොලර් 10,000ක මුදලකට වෙන්දේසි වෙමින්.

ඔහු පාකිස්තාන කණ්ඩායම අවසන් වරට එක් ව ඇත්තේ ද 2022 වසරේ සැප්තැම්බරයේ එංගලන්ත සංචාරය වෙනුවෙනුයි.

එමෙන් ම මෙවන් තරගමාලාවන් හී PSL සහ BPL තරගමාලාවලට පමණක් ක්‍රීඩා කර ඇති Aamer Jamal මේ දක්වා ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස තරග 20කට ක්‍රීඩා කරමින් ලබා ඇත්තේ ලකුණු 266ක් පමණයි. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය ලබා ඇති ඔහු දකුණතින් වේගපන්දු යවමින් එවන් තරගවල ලබා ඇත්තේ ද කඩුලු 24ක් පමණයි.

Aamer Jamal ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හා එක් වෙන්නේ පළමු වතාවටයි.

B – Love Kandy කණ්ඩායමේ ගමන් මඟ

ප්‍රතිවාදීන් දිනය ක්‍රීඩාංගණය වේලාව
1 Colombo Strikers ජූලි 31 ආර්. ප්‍රේමදාස (කොළඹ) රාත්‍රී 7.30
2 Galle Titans අගෝස්තු 01 ආර්. ප්‍රේමදාස (කොළඹ) රාත්‍රී 7.30
3 Galle Titans අගෝස්තු 05 පල්ලෙකැලේ සවස 3.00
4 Dambulla Aura අගෝස්තු 07 පල්ලෙකැලේ සවස 3.00
5 Jaffna Kings අගෝස්තු 08 පල්ලෙකැලේ රාත්‍රී 7.30
6 Jaffna Kings අගෝස්තු 12 ආර්. ප්‍රේමදාස (කොළඹ) සවස 3.00
7 Colombo Strikers අගෝස්තු 13 ආර්. ප්‍රේමදාස (කොළඹ) රාත්‍රී 7.30
8 Dambulla Aura අගෝස්තු 14 ආර්. ප්‍රේමදාස (කොළඹ) රාත්‍රී 7.30
  • B-Love Kandy කණ්ඩායම; වනිඳු හසරංග (නායක), Mujeeb Ur Rahman, Fakhar Zaman, ඇන්ජලෝ මැතිව්ස්, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, Mohammad Hasnain, දුෂ්මන්ත චමීර, සහන් ආරච්චිගේ, අශේන් බණ්ඩාර, Asif Ali, Mohammad Haris, නවෝද් පරණවිතාන, කමිඳු මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා, ලහිරු මධුශංක, මල්ෂ තරුපති, ලසිත් අබේරත්න, තනුක දාබරේ, Aamer Jamal සහ අවිශ්ක තරිඳු.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<