එංගලන්ත පන්දු යවන්නන් කැන්ගරු ජය කණපිට ගසයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

277
එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ඕස්ට්‍රේලියානු නායක ෆින්ච්ගේ කඩුල්ල දවා ගැනීමේ සතුට සමරමින්. Image Credits - ICC

එංගලන්ත පන්දු යවන්නන් පිතිකරුවන් ලෙස දැක්වූ සාර්ථකත්වය සහ ඔවුන් ඕස්ට්‍රේලියානු ඉනිම පාලනය කිරීමේ දී දැක්වූ සාර්ථකත්වය නිසාවෙන් දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 24ක තියුණු ජයක් ලබා ගැනීමට අද (14) එංගලන්තය සමත් විය. 

ඒ අනුව තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීමට එංගලන්තය සමත් වූයේ 1-1ක් ලෙස තරගාවලිය සම කරමිනි. තරගය එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවැත්විය.

ලෝක එක්දින ක්‍රිකට් ශූරතාවලියේ තවත් තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළේය. ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටොව් සුපුරුදු පරිදි එංගලන්ත ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි නමුත් මේ තරගයේ දී ද පළමු කඩුල්ල සඳහා සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට ඔවුන් දෙදෙනා අසමත් විය. බෙයාර්ස්ටෝව් ලකුණු නොලබාම දැවී යද්දී රෝයි ලකුණු 21ක් ලබා ගන්නා ලදි.

තවත් ක්‍රිකට් පුවත්:

ඔවුන්ගේ පළමු කඩුලු 2ක ලකුණු 29ක් වන විට බිඳ වැටී තිබූ මොහොතක තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නායක ඔයින් මෝර්ගන් සහ ජෝ රූට් ලකුණු 61ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් ඔවුන් දෙදෙනාගේ එම සබඳතාවය ගොඩනැංවීම සඳහා එංගලන්ත ඉනිමේ පන්දු 93ක් වැය විය. රූට් කඩුල්ලේ ස්ථාවර වෙමින් පන්දු 73ක දී ලකුණු 39ක් ලබාගත්තේ 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමිනි.

පළමු එක්දින තරගයේ දී එංගලන්තය වෙනුවෙන් සටන්කාමී පිතිකරණයක නිරත වෙමින් සිය මංගල එක්දින ශතකය ලබා ගත් සෑම් බිලින්ග්ස් මෙම තරගයේ දී ලකුණු 8කට දැවී ගිය අතර ජොස් බට්ලර් සහ සෑම් කරන්ගේ ඉනිම් දෙක පිළිවෙළින් ලකුණු 3කට සහ එක් ලකුණකට සීමා විය.

එංගලන්ත ඉනිමේ පන්දුවාර 40කුත් පන්දුවක් අවසන් වන විට ඔවුන්ගේ ලකුණු සටහන 149/8ක් ලෙස ඉතාමත් අසීරු මට්ටමක පැවති නමුත් 9 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ අදිල් රෂීඩ් සහ ටොම් කරන් පන්දු 56ක් තුල වේගවත් ලකුණු 76ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ නිත්‍ය පිතිකරුවන් හට විශාල ආදර්ශයක් ලබා දෙන ලදි.

ටොම් කරන් 4 පහර 5ක් එල්ල කරමින් පන්දු 39ක දී ලකුණු 37ක් ලබා ගන්නා විට, අනෙක් අන්තයෙන් වේගවත් පිතිකරණයක නිරත වූ දකුණතින් පිතිකරණයේ නිරත වන රෂීඩ් පන්දු 26ක දී ලකුණු 35*ක් ලබා ගත්තේය. එංගලන්ත ඉනිමේ මැදපෙළ සකස් කළ ක්‍රිස් වෝක්ස් ලකුණු 26ක් ලබා ගන්නා ලදි. ජොෆ්රා ආචර් තමන් මුහුණ දුන් පන්දු 2ක තුල නොදැවී ලකුණු 6*ක් ලබා ගන්නා ලදි.

අවසානයේ එංගලන්ත කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 231ක් ලබා ගත් අතර ඔවුන් අවසන් පන්දුවාර 10 තුල කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 82ක් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් උදුරා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ද ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත්වුයේ දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සැම්පා වන අතර ඔහු ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට වඩා එංගලන්තය දෙසට තරගයේ වැඩි පීඩනය පතිතව තිබුණේ තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීම සඳහා මේ තරගයේ ජය ඔවුන්ට අනිවාර්ය වූ බැවිනි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ නායක ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් හට පළමු කඩුල්ල සඳහා ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 9ක සබඳතාවයක් පමණි. ඒ ලකුණු 6ක් ලබා සිටි වෝනර් හට මේ තරගාවලිය පුරාවට වැඩිම අභියෝගයක් ලබා දුන් පන්දු යවන්නා වූ ආචර් හමුවේ නැවත වරක් අසාර්ථක වීමට සිදු වූ නිසයි. මාර්කස් ස්ටෝයින්ස් ලකුණු 9කට දැවී ගිය පසුව පිටියේ එක්වූ ෆින්ච් සහ Marnus Labuschagne තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 107ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් එංගලන්තයට තරගාවලිය පිළිබඳව තිබූ බලාපොරොත්තු ඈත් කර දමන ලදි.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන අවිනිශ්චිත බව නැවතත් මුළු ලොවටම පසක් කර දෙමින් ක්‍රියාත්මක වූ ලෝක ශූර එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියානු ඉනිමේ 30-35 පන්දුවාර 5 තුල තරගය ඔවුන්ගෙන් උදුරා ගත්තේ ඔවුන්ගේ ප්‍රබල කඩුලු 4ක් දවා ගනිමිනි. එහි දී Labuschagne, මිචෙල් මාෂ්, ෆින්ච් සහ ග්ලෙන් මැක්ස්වෙල් යන පිතිකරුවන් සිව්දෙනා දවා ගනිමින් එංගලන්තය නැවත වතාවක් තරගයට සහ තරගාවලියට අවතීර්ණ කළේ ආචර් සහ වෝක්ස් යන දෙදෙනා විසිනි.

නායකත්වයේ ඉනිමක් දියත් කළ ෆින්ච් සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 27 වැනි අර්ධ ශතක ඉනිම ලකුණු 73කට නිමා කරගත්තේය. පන්දු 105ක් තුල ගොඩනැංවුණු එම ඉනිම සඳහා 4 පහර 8ක් සහ එක් 6 පහරක් අන්තර්ගත විය.

පසුපෙළ පිතිකරුවන් සමඟින් එක්වෙමින් ඕස්ට්‍රේලියානු ඉනිම ගෞරවාන්විත මට්ටමකට රැගෙන ආ කඩුලු රකින පිතිකරු ඇලෙක්ස් කේරි ලකුණු 36ක් ලබාගත්තේ 4 පහර දෙකක් එල්ල කරමිනි. අවසානයේ ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 207කට සීමා විය.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් සාර්ථක දස්කම් දැක්වූ ක්‍රිස් වෝක්ස්, ආචර් සහ සෑම් කරන් කඩුලු 3 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වුවත් සමස්තයක් ලෙස එංගලන්ත පන්දු යවන්නන් සියලුම දෙනා ඉතාමත් හොඳින් සිය වගකීම ඉටු කරන ලදි.

එංගලන්තය – 231/9 (50): ඔයින් මෝර්ගන් 42, ජෝ රූට් 39, ටොම් කරන් 37, අදිල් රෂීඩ් 35*, ඇඩම් සැම්පා 3/36, මිචෙල් ස්ටාර්ක් 2/38.

ඕස්ට්‍රේලියාව – 207 (48.4): එරන් ෆින්ච් 73, Marnus Labuschagne 48, ඇලෙක්ස් කේරි 36, ක්‍රිස් වෝක්ස් 3/32, ජොෆ්රා ආර්චර් 3/34, සෑම් කරන් 3/35.

තරගයේ වීරයා – ජොෆ්රා ආර්චර් (එංගලන්තය)

ඒ අනුව මේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ලෝක එක්දින ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින එංගලන්තය සිය ප්‍රසාද ලකුණු ප්‍රමාණය ලකුණු 30 දක්වා වර්ධනය කර ගන්නා ලදි. දෙරට අතර පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත මේ ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සහ අවසන් ක්‍රිකට් තරගය අනිද්දා (16) මේ ක්‍රිකට් පිටියේ දීම පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<