අපරාජිත Trinbago Knight Riders ගමන ශූරතාවයෙන් අවසන්

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

150
Trinbago Knight Riders v St Lucia Zouks - 2020 Hero Caribbean Premier League Final
(Photo by Randy Brooks - CPL T20/CPL T20 via Getty Images)

St Lucia Zouks සහ Trinbago Knight Riders අතර පැවති 2020 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (CPL) අවසන් මහා තරගය ඊයේ (10) Tarouba හිදී නිමාවට පත්විය. එහි දී Trinbago Knight Riders කඩුලු 8කින් ජයග්‍රහණය ලබා ගනිමින් සිව්වැනි වරටත් කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරයින් ලෙස අභිෂේක ලැබීය.

තවත් ක්‍රිකට් පුවත්:

Trinbago Knight Riders මෙවර තරගාවලියේ දී කිසිදු තරගයක් පරාජයට පත් නොවීම විශේෂත්වයක් වන අතර ඔවුන් මීට පෙර 2015, 2017 සහ 2018 යන වසරවල දී ද CPL ශූරතාව දිනා ගැනීමට සමත් විය.

Jamaica Tallawahs පරාජය කරමින් Trinbago Knight Riders අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා විට, St Lucia Zouks විසින් Guyana Amazon Warriors කඩුලු 10ක දැවැන්ත පරාජයකට ලක් කරමින් CPL ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයක් සඳහා අවතීර්ණ විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Trinbago Knight Riders පළමුව පන්දු රැකීමට තීරණය කළේය. පළමුව පන්දුවට පහර දුන් St Lucia Zouksට නියමිත පන්දුවාර විස්ස අවසන් වීමට පෙර සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 154ක් පමණි.

St Lucia Zouks හි මුල්පෙළ පිතිකරුවන් කිහිප දෙනාම ලකුණු අතරට අවතීර්ණ වූ නමුත් ඔවුන් කිසිවෙක් හට දිගු ඉනිමක් ගොඩනැංවීම සඳහා කිරන් පොලාර්ඩ් ඇතුළු Trinbago Knight Riders පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා දුන්නේ නැත. කෙසේ නමුත් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් Andre Fletcher 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 27ක දී ලකුණු 39ක් ලබා ගන්නා ලදි.

ලකුණු 10 දී පළමු කඩුල්ල දැවී ගිය පසුව ඔවුන්ගේ ඉනිමේ දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 67ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට Fletcher සහ Mark Deyal සමත් විය. එහි දී Deyal 4 පහර 3ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 29ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම ස්ථාවර කිරීම සඳහා විශාල සවියක් විය. ඊට අමතරව රොස්ටන් චේස් සහ නජිබුල්ලා සද්‍රාන් පිළිවෙළින් ලකුණු 22ක් සහ ලකුණු 24ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි.

පන්දුවාර 14ක් අවසානයේ 115/4ක් ලෙස ප්‍රබල ස්ථානයක සිටි St Lucia Zouks කණ්ඩායමට අවසන් පන්දුවාර 6 තුල එතරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වීමට පොලාර්ඩ්ගේ පන්දු යැවීම ද හේතු විය. ඒ නිසාවෙන් ඔවුන්ගේ කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 39ක් තුල බිඳ වැටුණි.

ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Trinbago Knight Riders කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 13කට සීමා කරමින් Tion Webster ලකුණු 5කට දැවී ගියේය. නවසීලන්ත කඩුලු රකින පිතිකරු Tim Seifertගේ ඉනිම ලකුණු 4කට සීමා වීම නිසා ඔවුන්ගේ මුල් කඩුලු 2ක් ලකුණු 19ක් තුල දවා ගනිමින් ඉනිම ආරම්භයේ දී ම දැඩි පීඩනයකට ඇද දමන ලදි.

කෙසේ නමුත් අනතුරුව පිටියේ එක්වූ කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ලෙන්ඩල් සිමන්ස් සහ ඩැරන් බ්‍රාවෝ තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 138ක දැවැන්ත නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් තරගයේ අවසානය දක්වා සිය කණ්ඩායම රැගෙන ගියේ කිසිවෙක් නොසිතූ ලෙසිනි.

කෙසේ නමුත් පන්දුවාර 16ක් අවසන් වන විට ඔවුන්ගේ ලකුණු සටහන 114/2ක් ලෙස දැක්වුණු අතර ඔවුන්ට තරගය ජය ගැනීම සඳහා පන්දු 24ක් තුල ලකුණු 41ක් ලබා ගැනීමට අවශ්‍ය විය. Trinbago Knight Riders ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී සිමන්ස් සහ බ්‍රාවෝ දෙදෙනා එක්ව 4 පහරක් සහ 6 පහර තුනක් එල්ල කරමින් එම පන්දුවාරය සඳහා ලකුණු 23ක් ලබා ගත්තේ එතෙක් වේලාවක් දෙපසට දෝලනය වෙමින් තිබූ තරගයේ වැඩි වාසිය සියතට ගනිමිනි.

ඉනිමේ මැදපෙළ සවිමත් කළ බ්‍රාවෝ 6 පහර 6ක් සහ 4 පහර 2ක් එල්ල කරමින් පන්දු 47ක දී ලකුණු 58*ක් ලබා ගන්නා විට, පන්දු 49ක දී 4 පහර 8ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් නොදැවී ලකුණු 84*ක් වාර්තා කර ගත් ලෙන්ඩල් සිමන්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

තරගාවලිය පුරාවට පිතිකරණයෙන් (ලකුණු 207) සහ පන්දු යැවීමෙන් (කඩුලු 8) මෙන්ම පන්දු රැකීමෙන් (උඩ පන්දු 4) තුන් ඉරියව් දස්කම් පෙන්නුම් කළ කිරන් පොලාර්ඩ් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

  • St Lucia Zouks – 154 (19.1): Andre Fletcher 39, Mark Deyal 29, කිරන් පොලාර්ඩ් 4/30
  • Trinbago Knight Riders – 157/2 (18.1): ලෙන්ඩල් සිමන්ස් 84*, ඩැරන් බ්‍රාවෝ 58*

තරගයේ වීරයා – ලෙන්ඩල් සිමන්ස් (Trinbago Knight Riders)

තරගාවලියේ වීරයා – කිරන් පොලාර්ඩ් (Trinbago Knight Riders)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<