ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

Sri Lanka Women's Tour in England 2023

2076

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දෙවැනි එක්දින තරගය වර්ෂාව නිසාවෙන් අත්හැර දැමීමට අද (12) තීරණය කළා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය එංගලන්ත ක්‍රීඩිකාවන් විසින් කඩුලු හතකින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකාව හමුවේ ලද අවමන් සහගත පරාජයෙන්‍ යම් සහනයක් ලබා ගනිමිනුයි.

කෙසේ නමුත් අද තරගයට නම් ආරම්භයේ පටන් ම වර්ෂාවෙන් බාධා ඇති වීමට ඉඩ පවතින බවට ඉඟි ලැබුණු අතර, තරගය නියමිත වෙලාවට වඩා තරමක් පමා වී ආරම්භ කිරීමට සිදු වුනේ ද ඒ නිසාවෙනුයි.

සුළු පමාවකින් අනතුරුව ආරම්භ කෙරුණු තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායිකාව විසින් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනය කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු විසින් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දීමට සමත් වූ නමුත්, ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 26ක් සටහන් වන විට විශ්මිව දවා ගැනීමට Charlie Dean විසින් සමත් වුනා.

එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු වැටීම ඉක්මන් වූ අතර, ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වුනා. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තුරුම්පුව වන චමරි අතපත්තු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 34කට දැවී ගියේ ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 53ක් ලෙස සටහන් වන විටයි.

හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් අඩංගු වූ චමරිගේ මෙම ඉනිම තරගයේ වැඩිම ලකුණු ලද ඉනිම ලෙස ද සටහන් වුනා.

මීට අමතරව එකා පිට එකා ශ්‍රී ලංකා පිතිකාරිණියන් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නියන් විසින් සමත් වූ නමුත්, හසිනි පෙරේරා විසින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 58කින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ 31 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුව වන විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වුනේ කඩුලු 9කට ලකුණු 106ක් ලෙසයි.

ඒ වන විට හසිනි පෙරේරා නොදැවී කඩුල්ලේ රැඳී සිටි නමුත් වර්ෂාව නිසා ඉනිමේ අවසන් පිතිකාරිණිය වන ඉනෝකා රණවීර හට පන්දුවට පහර දීමට පිටියට පිවිසීමේ අවස්ථාවක් හිමි වුනේ නැහැ.

මෙහි දී එංගලන්තය වෙනුවෙන් Charlie Dean, Lauren Filer, Alice Davidson-Richards යන තිදෙනා විසින් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූ අතර, Kate Cross සහ Sarah Glenn විසින් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි සහ හසිනිට අමතරව ලකුණු දහයේ සීමාව හෝ පසු කර යෑමට සමත් වුනේ ඕශදී රණසිංහ (12) පමණයි.

  • ශ්‍රී ලංකාව – 106/9 (30.5) චමරි අතපත්තු 34, හසිනි පෙරේරා 31, Charlie Dean 2/12, Alice Davidson-Richards 2/16

තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය එළඹෙන බ්‍රහස්පතින්දා (14) පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<