ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සිංහල ක්‍රීඩා සමාජය (එස්. එස්. සී) හා එන්. සී. සී ක්‍රීඩා සමාජය අතර අද (25) කොළඹ SSC පිටියේ දී නිමා වූයේ කඩුලු 4ක ජයක් ලබාගත් එස්. එස්. සී කණ්ඩායමට ශූරතාවය හිමි කර දෙමිනි.

දික්වැල්ලගේ සුපිරි ශතකයෙන් NCC කණ්ඩායමත් අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමුපෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ ………

එන්. සී . සී හා එස්. එස්. සී කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ පසුගිය 23 වැනිදා පැවැත්වූ අවසන් පූර්ව තරගවල දී පිළිවෙළින් සැරසන්ස් ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පරාජය කරමිනි.

කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වූ මෙහි කාසියේ වාසිය දිනාගත් එස්. එස්. සී නායක සචිත්‍ර සේනානායක, ඇන්ජලෝ පෙරේරා නායකත්වය දරණ එන්. සී. සී කණ්ඩායමට පළමුව පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලබා දුන්නේය.

එන්. සී. සී කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන උපුල් තරංග හා නිරෝශන් දික්වැල්ලගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 7කට සීමා වූයේ ලකුණු 4ක් ලබා සිටි තරංග දකුණතින් වේගපන්දු යවන ධම්මික ප්‍රසාද්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය නිසාවෙනි.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක හා එක්වූ දික්වැල්ල දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සබඳතාවයක් ගෙඩනගන ලදි. එම සබඳතාවය අවසන් වූයේ 4 පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටි දික්වැල්ල, තිසර පෙරේරාගේ පන්දුවකට දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යාමත් සමඟිනි.

එන්. සී. සී ඉනිමේ කොඳු නාරටිය බඳු වූ දකුණතින් පිත්ත හසුරුවන චන්දිමාල් අනෙකුත් මැද පෙළ පිතිකරුවන් හා එකතු වෙමින් එන්. සී. සී ඉනිම ලකුණු 236ක් දක්වා රැගෙන ගිය අතර 4 පහර 5ක් හා 6 පහර 3ක් සමඟින් සිය ශතකය සම්පූර්ණ කර ගත් චන්දිමාල් ලකුණු 103ක් ලබා ගැනීමට වැය කළේ පන්දු 123ක් පමණි. අවසානයේ දසුන් ශානක එවූ පන්දුවකට චන්දිමාල් දැවී ගියේ සිය කණ්ඩායමේ 9 වැනි කඩුල්ල ලෙසිනි. මැදපෙළ සවිමත් කළ නායක ඇන්ජලෝ පෙරේරා හා මහේල උඩවත්ත පිළිවෙළින් ලකුණු 21ක් හා ලකුණු 20ක් ලබා ගත්හ.

පන්දු යැවීමේ දී ධම්මික ප්‍රසාද පන්දුවාර 9යි පන්දු 2ක් තුළ කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 42ක් පමණක් එන්. සී. සී පිතිකරුවන්ට ලබා දෙමිනි. ඊට අමතරව තිසර පෙරේරා හා ජෙෆ්රි වැන්ඩර්සේ අතරේ කඩුලු දෙක බැගින් බෙදී යන ලදි.

ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් ප්‍රබල ක්‍රීඩකයින් රැසකින් සමන්විත එස්. එස්. සී කණ්ඩායම ලකුණු 237ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ අතැතිව පිටියට පිවිසි අතර පළමු කඩුල්ල ලෙස කෞෂාල් සිල්වා ලකුණු 12කට දැවී ගියේය. 4 පහර දෙකක් සමඟ ලකුණු 14ක් ලබා සිටි වමතින් පිත්ත හසුරුවන දිමුත් කරුණාරත්න එස්. එස්. සී කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස දැවී යන විට ඔවුන් ලකුණු 54ක් ලබාගෙන තිබුණි.

ඩැනියෙල් සහ ඩැනියෙල් ඩාර්ලි පාරට ශූරතාව රැගෙන යයි

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 44 වැනි වරටත් …….

තෙවන කඩුල්ල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක හා පිටියේ එක්වූ දසුන් ශානක ලකුණු 88ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි. එම නිසා එස්. එස්. සී ක්‍රීඩා සමාජයට මෙම තරගය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සාර්ථක අඩිතාලම සකස් විය. ශානක ලකුණු 26යි. මිනෝද් භානුක හා මිලින්ද සිරිවර්ධන හට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට දුශ්මන්ත චමීර හා ලසිත් මාලිංග අවස්ථාව නොදුනි. 4 පහර 13ක් සමඟින් යෝධ 6 පහර දෙකක් එල්ල කළ ගුණතිලක පන්දු 122ක් තුළ ලකුණු 119ක් ලබාගෙන එස්. එස්. සී කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවාණන් බවට පත්විය.

අවසානයේ එස්. එස්.සී කණ්ඩායම කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගන්නා විට පිටියේ රැඳී සිටි චරිත් අසලංක හා තිසර පෙරේරා  පිළිවෙළින් ලකුණු 27*ක් ලකුණු 19* ලබා ගෙන සිටියහ. තිසර ලකුණු 19 *ලබා ගත්තේ පන්දු 9ක් තුළ එක් 6 පහරක් හා 4 පහර දෙකක් එල්ල කරමිනි.

එන්. සී. සී කණ්ඩායම වෙනුවෙන් දකුණතින් වේගපන්දු යවන දුශ්මන්ත චමීර ලකුණු 41ක් තුළ කඩුලු 3ක් දවා ගන්නා ලදි. ලසිත් මාලිංග එක් කඩුල්ලක් දවා ගන්නා විට සචින්ත පීරිස් කඩුලු 2ක් දවා ගන්නා ලදි.

එන්. සී. සී – 236 (48.2): දිනේෂ් චන්දිමාල් 103, නිරෝශන් දික්වැල්ල 33, ඇන්ජලෝ පෙරේරා 21, මහේල උඩවත්ත 20, ධම්මික ප්‍රසාද් 3/42, ජෙෆ්රි වැන්ඩර්සේ 2/34, තිසර පෙරේරා 2/42.

එස්. එස්. සී – 239/6 (45.5): ධනුෂ්ක ගුණතිලක 119, චරිත් අසලංක 27*, දසුන් ශානක 26, දුශ්මන්ත චමීර 3/41.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන 2018 සිව්දින පළාත් ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් මෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි තරග වාර්තා, ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<