කොදෙව් බර අවි හමුවේ අපේ යෞවනයෝ

ICC U 19 Cricket World Cup 2024

246

15 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන සුපිරි 6, Group 2 වටයේ පළමු තරගය අද (30) Kimberley හී Diamond Oval හි දී පැවැත් වීමට නියමිතයි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ පළමු වටයේ දී B කාණ්ඩයෙන් තෙවැනි ස්ථානයට පත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ආරම්භක තරගාවලියේ සිට ම යොවුන් ලෝක කුසලාන තරගාවලියට එක් වු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ මේ දක්වා දිනා ඇති ඉහළ ම ස්ථානය 2016 වසරේ දී ශූරතාව දිනා ගැනීමයි. ඊට පෙර ඔවුන් 2004 වසරේ දී අනුශූරතාව ද දිනා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ මේ දක්වා ලෝක කුසලාන ඉතිහාසයේ දී අවස්ථා 6ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් අවස්ථා 3ක බටහිර ඉන්දීය කොදෙව්වෝ ද සහ අවස්ථා 2ක දී ශ්‍රී ලංකාව ද ජයග්‍රහණය කර තිබෙනවා.

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ
වසර සත්කාරකත්වය ශ්‍රී ලංකා නායක ප්‍රතිවාදී නායක ප්‍රතිඵලය
1988 ඔස්ට්‍රේලියාව රොහාන් වීරක්කොඩි Brian Lara කොදෙව්වන්ට ලකුණු 100ක ජයක්.
2002 නවසීලන්තය ධම්මික නිරෝෂන් Narsingh Deonarine කොදෙව්වන්ට ලකුණු 62ක ජයක්.
2004 බංග්ලාදේශය ෆර්වීස් මහරූෆ් Denesh Ramdin කොදෙව්වන්ට ලකුණු 19ක ජයක්.
2010 නවසීලන්තය චතුර පීරිස් Yannick Ottley කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්.
2018 නවසීලන්තය නිශාන් මධුශ්ක Emmanuel Stewart ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්. (පළඟ ශූරතාව)
2022 බටහිර ඉන්දීය කොදෙව් දුනිත් වෙල්ලාලගේ Giovonte Depeiza ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන ඉතිහාසය එසේ වෙද්දී දෙරට ඉතිහාසයේ මෙම කණ්ඩායම් අවසන් වරට හමු වූ අල්ලපනල්ලේ ම මෙම තරගාවලිය ද යෙදී තිබීමත් සහ දෙරට ක්‍රීඩකයෝ තීරණාත්මක වටයක දී එකිනෙකා හමුවීමත් දෛවෝපගතයි.

ඔවුන් පසුගිය සැප්තැම්බරයේ මෙරට සංචාරය කරන්නේ යොවුන් සිව්දින ටෙස්ට් තරගාවලියකට සහ යොවුන් එක්දින තරගාවලියකට සහභාගී වීමටයි. එහි දී පළමුව පැවැති තරග 3කින් යුත් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙසත් සහ තරග 2කින් සමන්විත යොවුන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසත් ජයග්‍රහණය කිරීමට සත්කාරක ක්‍රීඩකයන් සමත් වූවා.

එම තරගාවලියට එක් වූ ක්‍රීඩකයන්ගෙන් ම සමන්විත මෙම කණ්ඩායම් දෙකේ රුව ගුණ දෙරටේ ම ක්‍රීඩකයෝ හොඳාකාරව ම දන්නා බැවින් මෙම තරගයේ දී සුළු හෝ අතපසු වීමකින් තොරව කටයුතු කිරීම දෙපිලට ම සිදු වනු නොඅනුමානයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සූදානම

නිමා වූ පළමු වටයේ දී තරග 2ක් ජයග්‍රහණය කරමින් සහ තරගයක් පරාජය වෙමින්  මෙම වටයට සේන්දූ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවමත් තමන්ගේ දක්ෂතා හරි හැටි හඳුනා නොගත් අකාරයෙනුයි සැරි සරන්නේ. එය විශාල දුර්වලතාවක් බැවින් වහා කළ යුත්තේ එම මඟෙන් ඉවත් වීමයි.

එමෙන් ම මෙරට දී කොදෙව්වන් සමඟ පැවැති තරගාවලියට මුහුණ දුන් ආකාරයට වඩා හාත්පසින් ම වෙනස් ආකාරයක් කණ්ඩායමෙන් දැකිය හැකියි. එහි ගුණාත්මක බවක් වී නම් කිසිදු ප්‍රශ්නයක් නොවන අතර ප්‍රශ්නය වී ඇත්තේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා විශ්වසවන්ත නොවීමයි.

එදා පුලිඳු පෙරේරා කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලියේ තරග 3ක දී ශතකයක් සමඟින් ලකුණු 174ක් ලබා ගත්ත ද අද වන විට නිමා වූ තරග ත්‍රිත්වයේ දී ඔහු ලබා ඇත්තේ ලකුණු 6ක් පමණයි.

නායක සිනෙත් ජයවර්ධන ද සිටිනුයේ මේ ගොඩේමයි. ඔහු තවමත් සිටින්නේ තමන්ගේ දක්ෂතා සොයාගත නොහැකිව අතරමං වෙමිනුයි.

තරගාවලියේ මෙතෙක් පැවැති තරග අතුරින් යම් තරමකින් හිස ඔසවා ඇති පිතිකරුවන් අතර දිනුර කළුපහන ගේ නම පළමු වෙන් ම කියැවෙනවා. ඔහු තරග 3ක දී අර්ධ ශතක 2ක් සමඟින් මේ වන විට ලකුණු 124ක් ලබා සිටිනවා. ඊට අමතර ව තරග 3ක දී ලකුණු 75ක් ලබා ගත් ශාරුජන් ශම්මුගනාදන් ද සහ තරග 2ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 73ක් ලබා සිටින සුපුන් වඩුගේ ද ඊට එක් වී ඇති ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි.

රවිශාන් ද සිල්වා (63) සහ රූසඳ ගමගේ (58) ද ජාමෙ බේරා ගැනීමේ ලකුණු ලබා ගනිමින් මේ ලැයිස්තුවට එක් වූව ද පිතිකරුවන් ලෙසින් ඔවුන්ට ද තම කණ්ඩායමට මීට වඩා යමක් කළ හැකිව තිබුණා.

මේ අනුව කොදෙව් යෞවනයන් හා සමඟ තරගයේ දී පිතිකරු බලඇණියේ යම් වෙනසක් විය යුතු යැයි හැඟුණත්, ඊට තෝරා ගැනීමක් නොමැති වීම බලවත් අඩුවක්වක්. එසේ වන කල ඔවුන් ම මෙම තරගයේ දී පිටියට පිවිසෙනු ඇතැයි අනුමාන කළ හැකියි.

පන්දු යවන්නන් අතුරින් මේ වන විට සාර්ථක ම පන්දු යවන්නා වී සිටින්නේ විශ්ව ලහිරු. ඔහු කඩුලු 7ක් ලබා සිටින අතර රුවිශාන් පෙරේරා සහ උප නායක මල්ෂ තරුපති කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් නම් කරන ලද ක්‍රීඩකයන් අතුරින් දිනුර කළුපහන තම යුතුකම් මනා ලෙස ඉටු කරමින් සිටිය ද උප නායක මල්ෂ තරුපති තවමත් පිතිකරුවෙක් ලෙසින් සාර්ථක නොවීම විශාල අඩුවක්.

මේ අඩු-පාඩු මෙම තරගයේ දී සිදු නොවීමට වගබලා ගැනීම ඔවුනොවුන්ගේ වගකීමයි. එවැන්නක් නොකර මින් ඉදිරියට යෑම ඔවුන්ගේ බලාපොරොත්තුව නම් ඒ ප්‍රතිවාදී කණ්ඩායමේ දුර්වලතාවයක් ම මිස වෙනත් කිසිවක් ම නොවේ.

නමුත් ඔවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම තරම් අනුවනකමක් තවත් නොවේ. ඒ ඔවුන් මේ වෙද්දී මෙරට ට පැමිණි කණ්ඩායමට වඩා හාත්පසින් ම වෙනස් වී ඇති බැවිනුයි. එබැවින් ශ්‍රී ලංකා යෞවනයෝ කළ යුත්තේ මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සුදුසු ම දේ සුදුසු අවස්ථාවේ දී සිදු කිරීමයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙතැයි අනුමාන කරන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, සුපුන් වඩුගේ, රවිශාන් ද සිල්වා, දිනුර කළුපහන, රූසඳ ගමගේ, මල්ෂ තරුපති, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), විශ්ව ලහිරු, රුවිශාන් පෙරේරා, ගරුක සංකේත්.

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ සූදානම

B කාණ්ඩයෙන් තෙවැනි ස්ථානයට පත් වෙමින් මෙම වටයට සුදුසුකම් ලබා ගත්ත ද කොදෙව්වෝ නිමා වූ පළමු වටය නිමා කරන්නේ තරග 2ක් ජයග්‍රහණය කරමින් තරගයක් පරාජය වෙමිනුයි.

2 වැනි තරගය, Group B, Potchefstroom, ජනවාරි 19, 2024, ICC Under-19 World Cup

o කාසියේ වාසිය – බටහිර ඉන්දීය කොදෙව්

o තරගයේ වීරයා – Kwena Maphaka (දකුණු අප්‍රිකාව)

  • දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 285 (50.0)
  • බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 254 (40.1)

දකුණු අප්‍රිකාවට ලකුණු 31ක ජයක්.

13 වැනි තරගය, Group B, Potchefstroom, ජනවාරි 24, 2024, ICC Under-19 World Cup

o කාසියේ වාසිය – බටහිර ඉන්දීය කොදෙව්

o තරගයේ වීරයා – Jewel Andrew (බටහිර ඉන්දීය කොදෙව්)

  • ස්කොට්ලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 205 (50.0)
  • බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 206 (35.1)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්.

18 වැනි තරගය, Group B, Potchefstroom, ජනවාරි 26, 2024, ICC Under-19 World Cup

o කාසියේ වාසිය – බටහිර ඉන්දීය කොදෙව්

o තරගයේ වීරයා – Nathan Edward (බටහිර ඉන්දීය කොදෙව්)

  • එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 192 (46.3)
  • බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 196 (41.0)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 2ක ජයක්.

එම තරග තොරතුරු කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් යෞවනයෝ මෙම තරගාවලිය තුළ සුවිශේෂී තත්ත්වයේ සිටීමට සමත් ව තිබීම ප්‍රතිවාදී ශ්‍රී ලංකා යෞවනයන් තරමක තිගස්සවන ප්‍රවෘත්තියක්.

එය තව දුරටත් තීව්‍ර වන්නේ නිමා වූ ලෝක කුසලානයට ද එක් වූ Jordan Johnson, Nathan Edward සහ Isai Thorne ද මෙම කණ්ඩායම හා එක් ව සිටිමයි.

එමෙන් ම නිමා වූ තරග 3 දී දකුණු අප්‍රිකාවනුවන්ට එරෙහිව ලබා ගත් ශතකයක් සහ තවත් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 196ක් ලබා සිටින Jewel Andrew ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛත ම හිසරදය විය හැකියි.

ඊට අමතර ව නායක Stephan Pascal (90), Nathan Edward (88) සහ Jordan Johnson (76) ලකුණු අතර සිටිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ විශ්වසනීය පිතිකරුවන් බවට පත් ව සිටී.

පන්දු යවන්නන් අතුරින් ප්‍රමුඛ ස්ථානයට පත් පන්දු යවන්නෝ තිදෙනෙක් ම පසු වීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බලඇණියේ ශක්තිමත් භාවය පෙන්නුම් කරන්නක්. Nathan Sealy, Nathan Edward සහ Isai Thorne ඔවුන් තිදෙනායි.

මොවුන් හා මාරුවෙන් මාරුවට එක් වෙන අනෙකුත් පන්දු යවන්නෝ ද කිසිසේත් ම සුළු කොට තැකිය නොහැකියි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙතැයි අනුමාන කරන බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

Stephan Pascal (නායක), Adrian Weir, Joshua Dorne, Jordan Johnson, Mavendra Dindyal, Jewel Andrew (කඩුලු රකින්නා), Nathan Edward, Nathan Sealy, Tarrique Edward , Raneico Smith , Isai Thorne

බටහිර ඉන්දීය කොදෙව්වන් මෙම වටය සඳහා පිවිසෙන්නේ ලකුණු ලබා ගැනීමේ දළ වේගය 0.175 මත සිටිමින් වන අතර ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ දළ වේගය 0.431ක් බවට පත් වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙම වාසි සහගත තත්ත්වය නොපිට පෙරළීම කොදෙව් යෞවනයන්ගේ ප්‍රමුඛ සිහිනය වනු ඇත. එමෙන් ම ආසන්නත ම තරගාවලියේ දී මෙරට ක්‍රීඩකයන් කළ දේ නිසා සිත් තැවුලට පත් ව සිටින ඔවුන් එහි වාඩුව ගැනීමට ද මෙම තරගය උපයෝගී කර ගත හැකියි.

එබැවින් ශ්‍රී ලංකා යෞවනයන් කළ යුත්තේ මෙරට දී කලාක් මෙන් එම සිහිනයෙන් ඔවුන් අවධි කිරීමයි.

 2024 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<