KL Rahulට කොළ එළියක්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

652

යෝග්‍යතා පරීක්ෂණයෙන් සාර්ථකව සමත් වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු KL Rahul නැවතත් ඉන්දීය කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා.

ඒ අනුව ඔහු ඉන්දීය කණ්ඩායම සහභාගී වන ඉදිරි තරග සඳහා තෝරා ගැනීම් වලට ඇතුළත් වන අතර බොහෝ විට ඔහු සුපිරි හතර දෙනාගේ වටයේ සිය කණ්ඩායමට ඇතුළත් වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ දී කඩුලු රකින පිතිකරුවා ලෙස Ishan Kishan අගනා ලකුණු 81ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම සටන්කාමී ලකුණු පුවරුවකට ගෙන ගිය නමුත් තරගය වර්ෂාව නිසා ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ආබාධයක් නිසා මෙම වසරේ මැයි මාසයේ සිට ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට KL Rahulට සිදු වූ අතර ඔහු සිය ශාරීරික යෝග්‍යතාව පෙන්නුම් කිරීම සඳහා දින කිහිපයකට පෙර පුහුණු තරග ද ක්‍රීඩා කර තිබුණා.

ආසියානු කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කිරීමේ දී ඔහුට මූලික වටයේ තරග බොහෝ විට අහිමි වන ඇතැයි ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානියා ප්‍රකාශ කළ නමුත් පුහුණු කඳවුරේ දී පෙන්නුම් කළ වර්ධනය නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඔහු ක්‍රීඩා කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා.

නමුත් ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිසා ඔහුට පූර්ණ සුවය ලබන තුරු ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමියේ අධීක්ෂණය යටතේ රැඳී සිටින ලෙස එහි බලධාරීන් ප්‍රකාශ කර තිබුණා.

පසුව ඊයේ (03) ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත්ව නැවතත් ඉන්දීය කණ්ඩායම සමඟ එක් වීමට නියමිත බව තහවුරු වූ අතර ඒ අනුව ඔහු සුපිරි හතර වටයේ සිට කණ්ඩායම නියෝජනය කරනු ඇතයි වාර්තා වෙනවා.

නමුත් ඔහුගේ ආබාධ තත්වය නිසා පාකිස්තාන තරගයේ අංක 05 පිතිකරු ලෙස ක්‍රීඩා කළ Ishan Kishan අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ නිසා කණ්ඩායම තේරීමේ දී නිලධාරීන්ට අමතර හිසරදයක් වී තිබෙන අතර ඔහු නොකඩවා වාර්තා කළ හතර වැනි අර්ධ ශතකය මෙය වීම ද විශේෂත්වයක්.

තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<