පළමු දිනයේම ප්‍රබලයින් දණගැස්සූ පොලිස් සහ ගුවන් සංදර්ශනය

Warriors සත් සාමාජික රග්බි තරගාවලිය - 2021

273

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අඩපණව තිබූ දේශීය සත් සාමාජික රග්බි පිටියට යලි ජීවය එක් කරමින් Warriors Sevens සත් සාමාජික රග්බි තරගාවලිය අද (30) කොළඹ පොලිස් පාර්ක් ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ වූයේ පළමු පෙළ කණ්ඩායම් 6ක සහභාගීත්වයෙනි.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා  සංචිතය තෝරාපත් කර ගැනීම සඳහා වැදගත් කඩඉඩමක් වනු ඇති බවට ද ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය මින් ඉහත දී අවධාරණය කොට තිබුණි.

හේතුකාරණා කිහිපයක් පදනම් කර ගනිමින් මහනුවර සහ CR කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා සහභාගී නොවීමට කල්තියාම තීරණය කර තිබූ නමුත් සෙසු කණ්ඩායම් සියල්ලක්ම (CH&FC, හැව්ලෝක්, යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා) පාහේ තරගාවලිය සමඟ සම්බන්ධ වී සිටි නිසාවෙන් තරගකාරීත්වයෙන් ඉහළ තරගාවලියක් දියත් කිරීමට අවස්ථාව උදා විය.

A, B සහ C යන කාණ්ඩ ත්‍රිත්වයෙන් කණ්ඩායම් 10ක් මූලික වටයේ දී එකිනෙකා සමඟ තරග වැඳුණු අතර A කාණ්ඩය නියෝජනය කරමින් CH&FC, යුද හමුදා ‘A’, ගුවන් හමුදා ‘B’, නාවික හමුදා ‘B’ යන කණ්ඩායම් කරට කර සටනක නියැලෙද්දී, B කාණ්ඩය යටතේ හැව්ලොක්, පොලිස් ‘A’ සහ යුද හමුදා ‘B’ යන කණ්ඩායම් ත්‍රිත්වයත්, C කාණ්ඩයෙන් ගුවන් හමුදා ‘A’, නාවික හමුදා ‘A’ සහ පොලිස් ග්‍රිෆින්ස් කණ්ඩායම් තම දක්ෂතා මැනවින් විදහා පෑමට සමත් විය.

A කාණ්ඩය යටතේ තරග වැඳුණු ප්‍රබල CH&FC සහ යුද හමුදා ‘A’ කණ්ඩායම අනෙකුත් කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තියුණු සටනක නියැලුණු අතර උණුසුම් තරගයකින් අනතුරුව සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායකත්වයෙන් යුත් CH කණ්ඩායම අධිෂ්ඨානශීලී යුද හමුදා බල කඳවුර බිඳ දමමින් එම කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

B කාණ්ඩය ජයග්‍රහණය කරනු ඇතැයි අනාවැකි පළකොට තිබූ හැව්ලෝක් කණ්ඩායම දරුණු පරාජයකට ඇඳ දැමූ සත්කාර පොලිස් ‘A’ කණ්ඩායම එම කාණ්ඩයේ ඉහළ ආසනය තම නමින් වෙන්කරවා ගැනීමට සමත් වූ අතර සියල්ලක්ම මවිත කරමින් ගුවන් හමුදා ‘A’ කණ්ඩායම ලකුණු 17- 00ක් ලෙස ජවසම්පන්න ක්‍රීඩකයින් රැසකගෙන් සන්නද්ධ නාවික හමුදා ‘A’ කණ්ඩායම පරාජයට පත් කරේ C කාණ්ඩයේ පෙරමුණ ගනිමිනි.

පළමු වටයේ තරග ප්‍රති

A කාණ්ඩය

  • CH&FC නාවික හමුදා ‘B’
  • යු හමුදා ‘A’ 21 – 05 ගුවන් හමුදා ‘B’
  • CH&FC 19 – 10 ගුවන් හමුදා ‘B’
  • යු හමුදා ‘A’ 33 – 00 නාවික හමුදා ‘B’
  • නාවික හමුදා ‘B’ 24 – 19 ගුවන් හමුදා ‘B’
  • CH&FC 21 – 14 යුද හමුදා ‘A’

B කාණ්ඩය

  • පොලිස් ‘A’ 17 – 15 යුද හමුදා කෝල්ට්ස්
  • හැව්ලෝක් 31 – 00 යුද හමුදා කෝල්ට්ස්
  • පොලිස් ‘A’ 24 – 00 හැව්ලෝක්

C කාණ්ඩය

  • ගුවන් හමුදා ‘A’ 34 – 10 පොලිස් ග්‍රිෆින්ස්
  • නාවික හමුදා ‘A’ 35 – 00 පොලිස් ග්‍රිෆින්ස්
  • ගුවන් හමුදා ‘A’ 17 – 00 නාවික හමුදා ‘A’

තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (31) දිනයේ දී පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග ක්‍රියාත්මක වීමට නියමිත අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන පහතින් දැක්වේ.

  • පළමු තරගය: CH&FC සහ නාවික හමුදා ‘B’
  • දෙවැනි තරගය: පොලිස් ‘A’ සහ යුද හමුදා කෝල්ට්ස්
  • තෙවැනි තරගය: ගුවන් හමුදා ‘A’ සහ යුද හමුදා ‘A’
  • සිව්වැනි තරගය: නාවික හමුදා ‘A’ සහ හැව්ලෝක්

තරගාවලියේ සජීව විකාශය, ඡායාරූප ඇල්බම සහ තරග වාර්තා සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<