ඉසුරු සහ ජයේෂිගෙන් නව වාර්තා

බස්නාහිර පළාත් පාසල් මලල ක්‍රීඩා ශූරතාවය 2022

442

පාසල් මලල ක්‍රීඩා පිටියේ බස්නාහිර පළාත් ශූරයින් අභිෂේක ගන්වන බස්නාහිර පළාත් පාසල් මලල ක්‍රීඩා ශූරතාවයේ වාර්තා කිහිපයක්ම ඊයේ (05) බිඳ වැටුණා.

පසුගිය දා නිමාවට පත් වූ ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවයේ ද තරගාවලි වාර්තාවක් පිහිටවූ ඉසුරු මෙම තරගාවලියේ ද වයස අවුරුදු 20න් පහළ මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනේ තත්පර 47.4ක කාලයක් සමඟින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවමින් වීම විශේෂත්වයක්.

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගනුම ලබන ඉසුරු මෑත කාලයේ දී මීටර් 400 ඉසව්වේ ඉහළ දස්කම් දක්වන අතර ඔහු පාසල් මලල ක්‍රීඩා පිටියේ එම ඉසව්ව තත්පර 48ට අඩු කාලයකින් අවසන් කළ පළමු ක්‍රීඩකයා වීම ද විශේෂත්වයක්.

එමෙන්ම තරගාවලියේ මීටර් 200 ඉසව්ව තත්පර 21.40ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට ඉසුරු සමත් වූ අතර ඔහු මීටර් 100 ඉසව්ව ද තත්පර 10.9ක කාලයකින් අවසන් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් නමුත් අවසන් තරගයට සහභාගී වුනේ නැහැ.

ඉසුරුට අමතරව මෙම තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ජයේෂි උත්තරා 20න් පහළ කාන්තා මීටර් 400 ඉසව්ව තත්පර 55.9ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ඉගනුම ලබන ජයේෂි උත්තරා ජාතික තලයේ ද කැපී පෙනෙන දස්කම් දක්වන යොවුන් ක්‍රීඩිකාවක්.

තරගාවලියේ තවත් තරගාවලි වාර්තාවක් බිඳ හෙළීමට නිලුමින්දි යාපා සමත් වුනේ මිනිත්තු 1:04.08ක කාලයකින් 20න් පහළ මීටර් 400 කඩුලු පැනීමේ තරගය අවසන් කරමිනුයි.

20න් පහළ කාන්තා මීටර් 4X100 සහය දිවීමේ ඉසව්ව තත්පර 49.08ක කාලයකින් අවසන් කළ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය කණ්ඩායම එහි තරගාවලි වාර්තාව ද බිඳ හෙළන්නට සමත් වුනා.

18න් පහළ කාන්තා මීටර් 400 ඉසව්ව තත්පර 48.06ක කාලයකින් අවසන් කළ තර්ස්ටන් විද්‍යාලයේ සලමුතු ජයතිලක ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී, එහි කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට ආවේ මරියා විද්‍යාලයේ ශෙහානි විජේතුංගට හැකි වුනේ තත්පර 58.4ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි.

ශෙහානි මෙම තරගාවලියේ ලබා ගත් දෙවැනි ජයග්‍රහණය මෙය වූ අතර ඇය මීට පෙර මීටර් 200 ඉසව්ව ද ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

තත්පර 59.9ක කාලයකින් මීටර් 400 ඉසව්ව අවසන් කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ ශලෝමි රශ්නි 16න් පහළ කාන්තා ඉසව්ව ජයග්‍රහණය කරද්දී, එහි පිරිමි ඉසව්වේ ජය සාන්ත බෙන්ඩික්ට් විද්‍යාලයේ ඕෂධ ජයමාන්න සතු වුනා. ඔහු එහි දී දැක්වූ දක්ෂතාවය තත්පර 51.1ක්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<