භාරතයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ Aussie දඟපන්දුවේ මීළඟ බලාපොරොත්තුව!

279

සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ජර්සිය පැලඳ ක්‍රීඩා කිරීමේ භාග්‍ය උදා කරගත් ඉන්දීය සම්භවයක් සහිත ක්‍රීඩකයින්ගේ නාම ලැයිස්තුවේ දෙවැන්නා බවට පත්වීමට තවමත් 19 වැනි වියේ පසුවන Tanveer Sangha සමත් වී තිබෙනවා. 

විශේෂඥ පා දඟපන්දු යවන්නෙකු ලෙසින් කණ්ඩායමට ඇතුළත්ව සිටින Tanveer ලබන මාසයේ පැවැත්වීමට නියමිත නවසීලන්ත-ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය ඉලක්ක කරගනිමින් නම්කොට ඇති සංචිතය සඳහා තෝරාපත් කරගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු භාර නිළාධාරීන් පියවර ගෙන තිබේ.

ඊයේ (29) දිනයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් තමන් ජාතික කණ්ඩායම වෙත ඇතුළත්කොට ගෙන ඇති බව කියැවෙන පුවත සැලවුණු වහාම ඊට දැක්වූ ප්‍රතිචාරයන් විස්තර කළ සිටි Tanveer පවසා සිටියේ මෙය ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂය වනු ඇති බවයි.

“මට ඒ ඇමතුම ලැබුණු වෙලාවේ නම් තිබුණේ වචනයෙන් විස්තර කරගන්න බැරි සතුටක්. මට අදහා ගන්න බැරි වුනා මේ වගේ අඩු වයසකින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඇත්තටම කිව්වොත් මට ආයිත් පියවි සිහියට එන්න පොඩි වෙලාවක් කියා. මේ සිදුවීම හීනයක් වගේ.”

මින් පෙර අවස්ථා කිහිපයක දී ම Jason Sangha, Arjun Nair, Param Uppal වැනි ඉන්දීය සම්භවයක් සහිත ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඕස්ට්‍රේලියානු පළමු පෙළ තරගාවලීන් සහ A කණ්ඩායම නියෝජනය කරමින් තරග වැද තිබූ නමුත් ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගැනීමේ වාසනාව උදා කරගැනීමට සමත්කම් දැක්වූයේ වේගපන්දු යවන ක්‍රීඩක Gurinder Sandhu පමණි. මොවුන්ට අමතර ඉන්දීය දෙමාපියන් හෝ ඉන්දියාව සමඟ යම් ඥාතී සබඳතාවක් ඇති ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලෙස ඉතිහාසගත වී ඇත්තේ Bransby Cooper (1877), Rex Sellers (1964) සහ Staurt Clark (2006) යන ක්‍රීඩකයින් තිදෙනායි.

තවත් ක්‍රිකට් පුවත්:

1997 වර්ෂයේ දී ඉන්දියාවේ ජලන්දර් නගරයේ සිට ඕස්ට්‍රේලියාවේ Sydney නුවර වෙත සංක්‍රමණය වූ Tanveerගේ පියා වන Joga Singh Sangha අතීතයේ සිටම ගොවිතැන් කටයුතුහී නියැලුණු අයෙකු  වූවත් ඕස්ට්‍රේලියාව වෙත පැමිණීමේ වලංගුතාව සනාථකොට තිබුණේ උසස් අධ්‍යාපන අරමුණු සම්පූර්ණ කරගැනීමේ අපේක්ෂාවෙන් පැමිණි ශිෂ්‍යයෙකු ලෙසිනි.

ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමෙන් අනතුරුව මුල් කාලසීමාවේ දී සුපුරුදු පරිදි කෘෂි කාර්මික කටයුතුවල නියැලීමෙන් ජීවිකාව සරිකර ගැනීමට උත්සාහ කළ ද ඉන් පසුව කුලී රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිය පවුලේ ආදායම ස්ථාවර කරගැනීමට Joga සමත් වී තිබුණේ වෘත්තීයෙන් ගණකාධිකාරිවරියක වන Tanveerගේ මව Upneetගේ ද සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි.

“Tanveer ක්‍රීඩාවට උපන් හපනෙක්. ඔහු රග්බි, වොලිබෝල්, කබඩි වගේ ක්‍රීඩාවලටත් එක වගේම  දක්ෂයි. ඔහුගේ ක්‍රිකට් හැකියාව මම මුලින්ම අඳුනගත්තේ වයස අවුරුදු 10 සම්පූර්ණ කරනවත් එක්කම වගේ. මට පුළුවන් වුනා Tanveerට වයස අවුරුදු 12ක් වෙනකොට ඔහුට වඩා ගොඩක් වයසින් වැඩි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඉන්න කණ්ඩායමකට ඇතුළත් කරගන්න. ඔහු පාසල් ගියෙත් Steve සහ Mark Waugh දෙදෙනාම අධ්‍යාපනය හදාරපු පාසලට. ඒක ඔහුට හොඳ අවස්ථාවක් වුනා.”

“තව කිව්වොත් Tanveer දක්ෂ පිතිකරුවෙක්. වයස අවු 19න් පහළ ලෝක කුසලානයේ දී තරග 5ක දී ලකුණු ලබා ගැනීමේ වේගය 85කට ආසන්නයෙන් රඳවා ගන්න ඔහුට හැකි වුනා. උරහිසේ ආබාධයක් ඇති වුන නිසා මම ඔහුට උපදෙස් දුන්නා වේගපන්දු යවනවා වෙනුවට දඟපන්දු යවන්න හුරු වෙන්න කියලා. ඒ වගේම ඒ උපක්‍රමය වැඩ කළා. ඔහුට හැකියාව ලැබුණා ඒ තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙන්න” යනුවෙන් Joga Sandhu මහතා සිය පුතණුවන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් කෙටි මතකාවර්ජනයක් සිදු කරමින් සඳහන් කොට තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<