හොංකොං පරාජය කරමින් ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා සටනට

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

750
Asian Netball Championship 2022 – Sri Lanka v Hong Kong

ආසියානු දැල්පන්දු ශූරතාවයේ ඉතාමත් තීරණාත්මක තරගයක් අද (10) ශ්‍රී ලංකාව සහ හොංකොං අතර පැවැත්වුණේ සිංගප්පූරුවේ OCBC Arena ගෘහස්ථ දැල්පන්දු ක්‍රීඩා සංකීර්ණයේ දීයි.

ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා එක් කණ්ඩායමක් තීරණය කරන මෙම අවසන් පූර්ව තරගයෙන් හොංකොං පරාජය කරමින් අපරාජිතව අවසන් මහා තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. ඒ් 67-43ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමිනුයි.

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව, පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව සහ හොංකොං පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා පිවිසෙද්දී, හොංකොං කණ්ඩායම තායිලන්තය හමුවේ පමණක් ජයග්‍රහණය කරමින් සිංගප්පූරුව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව හමුවේ පරාජය වෙමින් අද තරගය සඳහා අවතීර්ණ වුනා.

තරගාවලිය පුරාවට අඛණ්ඩව සාර්ථකව ප්‍රථම කාර්තුවට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව මේ තරගයේ දී ද ඉතාමත් සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වුනා. ආරම්භයේ දී හොංකොං ක්‍රීඩිකාවන් ද ශ්‍රී ලංකාවට හොඳින් අභියෝග කරන්නට සමත් වුනත්, ඔවුන්ව ලකුණු 5 තබමින් ශ්‍රී ලංකාව එක දිගට ලකුණු 12ක් දක්වා ලකුණු පුවරුව ගොඩනැගුවා. අවසානයේ පළමු කාර්තුව අවසන් වුනේ 17-07ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගනිමින්.

ලකුණු 10ක් පසුපසින් සිටිමින් හොංකොං ක්‍රීඩිකාවන් ලකුණු පරතරය අවම කර ගැනීමේ අරමුණින් පිටියට පිවිසියත්, ඔවුන්ට අනුකම්පා විරහිතව නැවත වරක් අභියෝග කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. ඒ අනුව ශ්‍රී ලංකාව තවත් ලකුණු 15ක් ලකුණු පුවරුවට එකතු කර ගනිද්දී, හොංකොං ක්‍රීඩිකාවන් ලකුණු 9ක් වාර්තා කරන්නට සමත් වුනත් තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී ලකුණු පරතරය 16ක් දක්වා වැඩි වී තිබුණා.

තෙවැනි කාර්තුවට ද සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. තරගයේ සම්පූර්ණ ආධිපත්‍ය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතුව පැවති අතර තෙවැනි කාර්තුවේ මිනිත්තු 7ක් ගත වෙද්දී ලකුණු පරතරය 20ක් දක්වා (41-21) වර්ධනය කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.  තෙවැනි කාර්තුව අවසානයේ දී ලකුණු පරතරයට 22ක් දක්වා ඉහළ දමන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනේ හොංකොං ක්‍රීඩිකාවන්ගෙන් ජයග්‍රහණයට සෑහෙන්න ඈතට රැගෙන යමිනුයි.

සිව්වැනි කාර්තුවේ දීත් ප්‍රතිවාදීන්ව අඛණ්ඩව පීඩනයට ලක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනේ ලකුණු රැස් කිරීම ආරම්භ කරමිනුයි. හොංකොං ක්‍රීඩිකාවන්ට තරගය ලෙහෙසියෙන් අත්හරින්නට කැමැත්තක් නොතිබූ නමුත් ශ්‍රී ලංකාවට පෙරළා අභියෝග කරන්නට ද ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ. අවසානයේ සිව්වැනි කාර්තුව නිමාව දුටුවේ 67-43ක් ලෙස ශ්‍රී ලංකාව අපරාජිතව තරගාවලියේ අවසන් මහා තරගයට දොරටු විවර කර ගනිමිනුයි.

පළමු වටය අවසානයේ දෙවැනි වටය අවසානයේ තෙවැනි වටය අවසානයේ සිව්වැනි වටය අවසානයේ
ශ්‍රී ලංකාව 17 32 47 67
හොංකොං 07 16 25 43

මේ ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ Cape Town හිදි පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

දෙවැනි අවසන් පූර්ව තරගය ද අද පැවැත්වීමට නියමිතයි. ඒ සිංගප්පූරුව සහ මැලේසියාව අතරයි. තරගාවලියේ අවසන් මහා තරගය හෙට (11) පැවැත්වෙනු ඇත.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<