ඇෆ්ගනිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක්

295

ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියාව අතර එක් තරගයකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතිනවා. එම තරගය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී එළඹෙන දෙසැම්බර් මස 7 වැනිදා පැවැත්වීමට සැලසුම් කරන බව පසුගිය බ්‍රහස්පතින්දා (27) ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක Nazim Zar Abdulrahimzai පවසා සිටියා.

ඔහු පවසා සිටියේ එම තරගය දිවා තරගයක් ලෙස පවත්වන ලෙස තමන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවයි. කොරෝනා වලින් සිය ක්‍රිකට් සැලසුම් වෙනස් වීමට පෙර ඕස්ට්‍රේලියාව නොවැම්බර් 21-25 අතර කාල සීමාවේ දී එක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නට සුදානම්ව සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

“අපි දෙසැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව එක් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනවා” Nazir පවසා තිබුණා. වැඩිදුරටත් අදහස් දක්වමින් Nazir පවසා තිබුණේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දී දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කරන බවයි. 

“අපි ඉල්ලා සිටියා ඔවුන්ගෙන් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් වෙනුවට දිවා ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරමු කියලා. මොකද අපි මීට කලින් දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරලා නැති නිසා. අපි ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර පුහුණුවීම් කරන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දීයි. ටෙස්ට් තරගයට පෙර අපි පුහුණු තරගයකුත් ක්‍රීඩා කරයි.”

මේ අතර ඇෆ්ගනිස්තානයේ නව ක්‍රිකට් අධ්‍යක්ෂක වන Raees Ahmadzai පවසා සිටියේ සෙනසුරාදා වන වට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ද, දිවා තරගයක් ද යන්න නිශ්චිතව පැවසිය හැකි වනු ඇති බවයි. “අපි ඕස්ට්‍රේලියාවට හොඳ කණ්ඩායමක් යවන්න සැලසුම් කරනවා. සෙනසුරාදයින් පස්සේ අපිට දැනගන්න පුළුවන් හරියටම තරගය දිවා රාත්‍රී ද නැද්ද කියලා.”

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග දෙකක් ඔවුන් ජයග්‍රහණය කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<