ශ්‍රී ලංකා ශූරියෝ හොංකොං ක්‍රීඩිකාවනුත් මට්ටු කරයි

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

366
Sri Lanka Netball

සිංගප්පූරුවේ සත්කාරකත්වය යටතේ ඉකුත් 3 වැනිදා සිට ක්‍රියාත්මක වන ආසියානු දැල්පන්දු ශූරතාවයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි වටයේ අවසන් තරගයේ දී, හොංකොං ක්‍රීඩිකාවන් 62-51ක් ලෙස පරාජය කරමින් අපරාජිතව ඉදිරියට යන්නට සමත් වුනා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (08) දහවල් ආරම්භ වූ මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව පිවිසේ අවසන් තරගයේ දී සිංගප්පූරු ක්‍රීඩිකාවන් ද පරාජය කරමින් සිය අපරාජිතව වාර්තාවත් රැක ගනිමිනුයි. හොංකොං ක්‍රීඩිකාවන් මෙම තරගයට පිවිසියේ ඊයේ මැලේසියාව හමුවේ 55-46ක් ලෙස පරාජය වීමෙන් අනතුරුවයි.

සුපුරුදු ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් පළමු කාර්තුවේ සිට ම තරගය සියතට ගන්නට සමත් වුනා. ප්‍රබල ලෙස පිටිය සිසාරා සිය ආධිපත්‍ය පැතිර වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු කාර්තුව අවසන් කළේ 20-09ක් ලෙසයි.

දෙවැනි කාර්තුවේ දී ද සුපුරුදු ප්‍රහාරාත්මක වේගය එලෙසින්ම රඳවා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනේ තවත් ලකුණු 17ක් ලකුණු පුවරුවට එකතු කරමිනුයි. කෙසේ නමුත් හොංකොං ක්‍රීඩිකාවන්ට එම අර්ධයේ දී වාර්තා කරන්නට හැකි වුනේ තවත් ලකුණු 13ක් පමණයි.

පළමු අර්ධය 37-22ක් ලෙස අවසන් වෙද්දී ලකුණු 15ක පරතරයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ගොඩනංවා ගෙන තිබුනත්, තෙවැනි කාර්තුව අවසන් වන විට එය 10ක් දක්වා අවම කර ගන්නට හොංකොං ක්‍රීඩිකාවන් සමත් වුනා. තෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් තවත් ලකුණු 11ක් සිය ලකුණු පුවරුවට එකතු කර ගනිද්දී, ප්‍රතිවාදීන් විසින් ලකුණු 16ක් වාර්තා කරන්නට සමත් වුනා.

තරගයේ තීරණාත්මක සිව්වැනි කාර්තුවේ දී ද හොංකොං ක්‍රීඩිකාවන් මනාව පාලනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉදිරියටම ඇදෙන්නට වූ අතර තවත් ලකුණු 14ක් එකතු කර ගනිමින් 62ක් දක්වා සමස්ත ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. හොංකොං ක්‍රීඩිකාවන්ට වාර්තා කරන්නට හැකි වුනේ තවත් ලකුණු 13ක් පමණයි.

ඒ අනුව 62-51ක් ලෙස මෙම තරගයත් ජයග්‍රහණය කරමින් සිය අපරාජිත වාර්තාව තවදුරටත් එලෙස රඳවා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

පළමු කාර්තුව අවසානයේ දෙවැනි කාර්තුව අවසානයේ තෙවැනි කාර්තුව අවසානයේ සිව්වැනි කාර්තුව අවසානයේ
ශ්‍රී ලංකාව 20 37 48 62
හොංකොං 09 22 38 51

වත්මන් ශූරියන් ලෙස ශ්‍රී ලංකාව මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වුනේ A කාණ්ඩයෙන්. එහි දී ඔවුන් ඉන්දියාව 102-14ක් ලෙසත්, පිලිපීනය 99-37ත් ලෙසත් පරාජය කරමින් එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සමඟින් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

දෙවැනි වටයේ මෙතෙක් පැවති තරගවල දී ශ්‍රී ලංකාව විසින් මැලේසියාව 55-53ක් ලෙසත්, සිංගප්පූරුව 67-49ක් ලෙසත් සහ හොංකොං 62-51ක් ලෙසත් පරාජය කරමින් ප්‍රසාද ලකුණු 6ක් සමඟින් ප්‍රථම ස්ථානයේ පසුවන්නේ අවසන් පූර්ව තරග සඳහා සිය ස්ථානය වෙන් කර ගනිමිනුයි.

GROUP E P W L GF GA Pts
ශ්‍රී ලංකාව 3 3 0 184 153 6
සිංගප්පූරුව 3 2 1 161 156 4
මැලේසියාව 3 1 2 151 157 2
හොංකොං 3 0 3 143 173 0

ඒ සමඟින් ශ්‍රී ලංකාව එළඹෙන 10 වැනිදා අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ නැවතත් හොංකොං ක්‍රීඩිකාවන් සමඟිනුයි. තරගාවලියේ අවසන් මහා සංග්‍රාමය පැවැත්වෙන්නේ එළඹෙන 11 වැනිදායි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<